ශී‍්‍ර ලංකාවට රුපියල් බිලියන 11 ක විදේශ විනිමය ඉතිරියක් ලබාදීමට සියැට් කැළණි පෙරමුණට

(කොළඹ, ලංකාපුවත්) – විදේශ විනිමය ඉතිරිකර ගැනීමටත් දේශීය කර්මාන්ත නඟා සිටුවීමට රජය දරන ප‍්‍රයත්න වලට ප‍්‍රතිචාරයක් ලෙස මෙරට ට‍්‍රක්රථ සහ බස්රථ ටයර් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නිපදවීම සඳහා සමාගමේ සියළුම නිෂ්පාදන කර්මාන්තශාලාවල ධාරිතාවය උපරිමයෙන් භාවිතා කරමින් ආනයන ආදේශනය තුලින් විදේශ විනිමය ඉතිරි කර දීමට සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම ඉදිරිපත් වී ඇත.

මෙරට ටයර් අවශ්‍යතාවයෙන් දැනටමත් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් සමාගම රජය විසින් තාවකාලිකව පනවා ඇති ආනයන සීමා හමුවේ මෙරට මගී බස්රථ සහ භාණ්ඩ ප‍්‍රවාහන අංශ වල ටයර් අවශ්‍යතාවය සියයට 100 ක්ම සමාගමට දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ප‍්‍රකාශ කරයි.

මේ ආකාරයෙන් පිටරටින් ගෙන්වන ටයර් මෙරට නිපදවීම මගින් වසරකට රුපියල් බිලියන 11 ක විදේශ විනිමයක් ඉතිරි කරගත හැකිබව සමාගම සඳහන් කරයි.

‘දේශීය කර්මාන්තයක කාර්ය භාරය වන්නේ මූලික වශයෙන් දේශීය අවශ්‍යතාවය සපුරා අතිරික්තය අපනයනය කිරීමයි. මෙම කාර්ය භාරය සියැට් කැළණි සමාගම වසර ගණනාවක් පුරා සාර්ථකව සිදුකර තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘අපි ක‍්‍රමානුකූලව ධාරිතාවය වැඩිකිරීමට සහ නිෂ්පාදන මාලාව පුළුල් කිරීමට ආයෝජනය කර මේ වනවිට රටවල් 16 කට අපනයනය කරනවා. මේ වනවිට, අප විසින් නිෂ්පාදනය කරන ට‍්‍රක්රථ සහ බස්රථ ටයර් වලින් දේශීය අවශ්‍යතාවය 100% සපුරාලිය හැකි නමුත් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් රජය විසින් විදේශ විනිමය ආරක්ෂා කරගැනීම සඳහා දරන උත්සාහයට සහායදීම සඳහා තවමත් විවෘත කර නොමැති විදේශීය වෙළඳපොළවල් වෙත යැවීමට නියමිත ටයර් දේශීය වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ විකල්ප අවස්ථාව ද අප සතුව තිබෙනවා.’

ආනයන සීමාව නිසා දේශීය වෙළඳපොළේ ඇතිවී තිබෙන අමතර ඉල්ලූම සපුරාලීම සඳහා සමාගමට තිබෙන හැකියාව පිළිබඳව අදහස් දක්වමින් ඩඞ්ලානි මහතා අනාවරණය කළේ සියැට් කැළණි සමාගමට දැනටමත් වසරකට ටයර් මිලියන 2 ක් දේශීයව නිෂ්පාදනය කළ හැකි බවත් එළඹෙන සති කිහිපය තුල කාර් සහ වෑන් රථ සඳහා වන රේඩියල් ටයර තවත් 200,000 ක් නිෂ්පාදනය කිරීමට නව යන්ත‍්‍ර සවිකරමින් සිටින බවත්ය. මෙම නව යන්ත‍්‍ර නිෂ්පාදන කි‍්‍රයාවලියට යෙදවීම විදේශීය තාක්ෂණවේදීන් පැමිණි විගස සිදුවනු ඇතැයි ද ඔහු පැවසීය.

‘සමහර ට‍්‍රක්රථ සහ බස්රථ භාවිතා කරන 10.00R20 රේඩියල් ටයර් වෙනුවට 10.00-20Bias-plyටයර භාවිතා කරන්න පුළුවන්. ඒ තුළින් වියදම් අඩු කර ගැනීමටත් හැකි වනවා,’ යනුවෙන් පැවසු ඩඞ්ලානි මහතා සියැට් ටයර වල ශක්තිමත් නයිලෝන් ගොඩනැගීම නිසා ටයරයේ ආයු කාලය තුල කිහිප වතාවක් නැවත පිරවිය හැකි බවත් එතුලින් ධාවනය කරන කිලෝමීටරයක් සඳහා අඩු පිරිවැයක් දැරීමට සිදුවන බව පෙන්වා දුන්නේය. එම නිසා මෙම ටයර භාවිතයෙන් අමතර විදේශ විනිමය ඉතිරියක් මෙන්ම ටයර් නැවත පිරවීමේ කර්මාන්තයේ වර්ධනයට සහයෝගයක් ලැබෙන බව ද ඔහු පැවසීය.

වර්තමාන තාවකාලික ආනයන සීමාවන්ට අනුව අඟල් 20 රිම් ප‍්‍රමාණයට ගැලපෙන ට‍්‍රක් සහ බස්රථ ටයර් සඳහාත් අඟල් 12, 13 සහ 14 යන රිම් ප‍්‍රමාණ වලට ගැලපෙන කාර් රේඩියල් ටයර් සඳහාත් ආනයන සීමාවන් පනවා තිබේ.
මීට අමතරව, පාරිභෝගිකයින්ට සහ ආර්ථිකයට සහයෝගය දැක්වීම සඳහා සියැට් කැළණි සමාගම විසින් 2019 දෙසැම්බර් මාසයේ සිට ටයර්වල මිල ගණන් වෙනස් නොකළ බව ද සමාගම පවසයි.

සමාගම විසින් පසුගිය ජූලි මාසයේදී වැඩි බරක් ගෙන යමින් වැඩිදුරක් ධාවනය කළ හැකි 10.00R-20ප‍්‍රමාණයේ බයස්-ප්ලයි ටයරයක් වන‘CEAT LYFMAX’ටයරය වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. කිලෝ ග‍්‍රෑම් 52 ක (රාත්තල් 115 ක්) බරකින් යුක්ත වන මෙම ටයරය ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ තිබෙන මේ ආකාරයෙන් බර ඇදීම සඳහා නමක් දිනාගෙන තිබෙන තවත් ජාත්‍යන්තර ටයර් සන්නාම දෙකක් සමග සංසන්දනය කිරීම මගින් දිගුකල් පවත්නා බව සනාථ කර තිබේ.

මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම 2018 ජනවාරි මාසයේදී නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිවේදනය කළ රුපියල් බිලියන 03 ක ආයෝජනය සමග මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්,SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *