බාල වයස්කාර දරුවෙක් අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ, වයස අවුරුදු 42 ක පුද්ගලයකු විසින් කාලයක් තිස්සේ සිදු කරන ලද, වයස අවුරුදු 17 ක බාල වයස්කාර පිරිමි දරුවෙක් අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම බාල වයස්කාර දරුවා දැඩි මානසික අපයෝජනයකට ද ලක්වී ඇති බව තව දුරටත් අනාවරණය වී තිබේ.

2019 වර්ෂයේ අගභාගයේ ක්‍රීඩාංගනයක පැවති වෙස් මංගල්‍යයක පුහුණුවීම් කරන අතරතුර දිනක රාත්‍රී මෙම දරුවා ඔහුගේ කාරයේ නංවාගෙන කෑම ගෙන ඒම සඳහා ගිය බවත්, ඒ අවස්ථාවේ ඔහු දරුවාට මත් ද්‍රව්‍යක් මිශ්‍ර කොකාකෝලා පානය කිරීමට සලස්වා බරපතල ලිංගික අපයෝජනයකට ලක්කළ බවත් අනාවරණ වී ඇත.

තවද, මෙම සිද්ධියට ප්‍රථමව ද මෙම නර්තන ගුරුවරයා බාල වයස්කාර ළමයින් 03 දෙනෙකු ඇතුළු 11 දෙනෙකුගේ කණ්ඩායමක් විදේශ රටකට සංචාරයක් සඳහා රැගෙන ගොස් ඇත. මෙහිදී සිදුකරන ලද විමර්ශන වලදී හෙලිවූයේ සංචාරය සදහා සහභාගී වූ එක් බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජනයට ලක් කිරීමට මෙම සැකකරු උත්සහ කර ඇති බවයි. පසුව එම ළමුන්ගේ භාරය වැඩිහිටි දරුවකුට පවරා එම නර්තන ගුරුවරයා ලංකාවට පැමිණ ඇත. එම දරුවන් ආපසු ලංකාවට පැමිණීමට ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ එම දරුවන්ගේ ගුවන් ටිකට්පත් අවලංගු වී තිබීම හේතුවෙන්, එම දරුවන්ව ගුවන්තොටුපලින් එලවා දමා ඇත. අනතුරුව එක් දරුවකු ඒ රටේ තානාපති කාර්යාලයට කතා කිරීමෙන් අනතුරුව තානාපති කාර්යාලයෙන් නිලධාරීන් පැමිණ දරුවන් තනාපති කාර්යාලයට රැගෙනගොස් අවශ්‍ය සුබසාධන පහසුකම් ලබා දී සැකකාර නර්තන ගුරුවරයා ලවා නැවත ගුවන් ටිකට්පත් ගෙන්වාගෙන ළමුන් ලංකාවට එවීමට කටයුතු කර තිබුණි.

තවද මෙම සැකකාර නර්තන ගුරුවරයා මීට පෙර බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු යොදාගෙන අන්තර්ජාලය හරහා දැරියක් අපහසුතාවයට පත් කිරීමකට ද සම්බන්ධ වී ඇති බවටද තව දුරටත් අනාවරණය කරගෙන ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සහාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු නීතීඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මින්ගේ මඟ පෙන්වීම යට‌ෙත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එන්. කදිරගාමර් මහතා , කාන්තා උප පොලිස් පරීක්ෂක චිත්‍රා නන්දනී මහත්මිය ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම සිද්ධිය‌ට අදාලව ඉදිරි විමර්ශන කටයුතු සිදු කර ගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *