දීර්ඝ කාලයක් කම්කරු ජනතාවට බලපෑ නීති රැසක් සංශෝධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වැඩකරන පන්තියේ කම්කරු ජනතාවට ලබා දියයුතු සහන ලබාදීමේදී හරස් වූ කම්කරු අණපනත් වල තිබූ දුර්වලතා ඉවත් කරමින් කම්කරු අණපනත් රැසකට සංශෝධන ගෙන ඒමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඊයේ පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශයේ කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් හා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, සේවක අර්ථ සාධක අරමුදල් පනතට අදාළ දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට එම පනත සංශෝධනය කරන බවත්, කම්කරු විනිශ්චය සභා ලබා දෙන නියෝග එම කම්කරු විනිශ්චය සභා තුළින්ම බලාත්මක කිරීමේ නීති සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය.

එසේම පාරිතෝෂිත දීමනා පනත ද සංශෝධනය කරමින් එම ගෙවීම් වලට අදාළ නඩු ද කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට යොමු කෙරේ. ඊට අමතරව පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත සහ 2016 අයවැය දීමනා පනත යටතේ වන අයකර ගැනීමේ නඩු ද කම්කරු විනිශ්චය සභා වලට පැවරීමද අදාළ නීති සංශෝධන ඉතා ඉක්මණින් ගෙන එන බවත් ඇමතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. එසේම වෘත්තීය සමිති වල සහ කම්කරු ජනතාවගේ දිගු කාලීන ඉල්ලීමක් වූ සේවක වන්දි ආඥා පනත යටතේ දැනට ගෙවනු ලබන රුපියල් 550,000.00 ක වන්දිය, රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමටත් එම වන්දි නඩු ද විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත පැවරීමට අදාල සංශෝධන ගෙන එන බව අමාත්‍යවරයා පැවසීය. මෙම අණපනත් සංශෝධනයට ප්‍රධාන හේතුව දැනට මෙම නඩු විභාග කෙරෙන මහේස්ත්‍රාත් අධිකරණයන්හි පැවති නඩු අධිකභාවය නිසා සාධාරණය හා අදාළ සහනයන් කඩිනමින් කම්කරු ජනතාවට ලබා දීම බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

පැමිණ සිටි කම්කරු නිලධාරීන් හා කොමසාරිස්වරුන්ද මෙම සංශෝධන ගෙන ඒම ඉතා වැදගත් ක්‍රියාවලියක් බව පෙන්වා දුන්නේය. මෙම පනත් සංශෝධන කෙටුම්පත් සතියක් ඇතුළත අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත ලබා දෙන ලෙස කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමාට ඇමතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ද එක්වූහ. ඊට අමතරව, කම්කරු නිලධාරීන්, සහකාර කම්කරු කොමසාරිස් හා නියෝජ්‍ය කම්කරු කොමසාරිස්වරුන් ද එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *