ශ්‍රී ලංකා – නෝර්වේ ධීවර හා සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) – ධීවර ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා – නෝර්වේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත් අංශයකි. මෙම ක්ෂේත්‍රවල ව්‍යාපෘති ගණනාවක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්‍ය උනන්දුවෙන් පසුවේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ(27) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනිය ට්‍රයින් ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය මේ බව ප්‍ර කාශ කළාය.

“ධීවර කර්මාන්තය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල මූලික පදනම” යැයි තානාපතිනි එස්කෙඩාල් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ධීවර ක්‍ෂේත්‍රයේ ඇති වැදගත්කම සඳහන් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසරය විනාශ කරන ට්‍රෝලර් පන්නයේ මසුන් මැරීමේ ක්‍රමය පිළිබඳව පවතින ගැටලු මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවය මේ වන විට COVID-19ට මුහුණ දෙමින් ආර්ථික සංවර්ධනය සඳහා යොමු වී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව ආකර්ෂණීය ආයෝජන ඔස්සේ ඉතා විශ්වාසනීය ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හැකි පරිසරය උදා වී ඇති බව සඳහන් කළේය.

COVID-19 වසංගතය පාලනය කිරීමට වඩා යෝග්‍ය හා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම ගැන තානාපතිනි එස්කෙඩාල් මහත්මිය රජයට ප්‍රශංසා කළාය.

නෝර්වීජියානු මැදිහත්වීම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරමින් තිබෙන නව ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් දෙරටේ දූත පිරිස සාකච්ඡාවක නිරත වූහ.

“අපට දැනටමත් හොඳ ද්විපාර්ශ්වික සබඳතා තිබෙනවා. අපට එය ශක්තිමත් කිරීමට අවශ්‍යයි, ”“ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ කැපවීම තහවුරු කිරීමට අපට අවශ්‍යයි.”යැයි ද තානාපතිනී එස්කෙඩාල් මහත්මිය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *