ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට යා හැකි ද තීන්දුව සදුදා

(කොළඹ, ලංකාපුවත්) – මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන සඳුදා (07) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය සදහන් කරයි.

ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් අද (04) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලන ලදි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කළ අතර අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මහලේකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු ඉදිරිපත් කළේය.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්න ද නැද්ද යන තීරණය ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව ද නිවේදනය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *