බිත්තරයක මිල අද සිට රු. 02කින් අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව අද (07) සිට බිත්තරයක මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවෙසේ දී පෙරේදා (05) දින පැවැත්විය.

එම හමුවේ දී අග්‍රාමාත්‍යවරයා පාරිභෝගික ජනතාවට සහන සැලසීම වෙනුවෙන් බිත්තර මිල පහළ දමන්නැයි කළ යෝජනාවට ප්‍රතිචාර ලෙස සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මේ තීරණයට පැමිණ ඇත.

ඒ අනුව අද සිට සුදු බිත්තරයක් රුපියල් 18.00 කට සහ රතු බිත්තරයක් රුපියල් 18.50ක මිලකට බිත්තර නිෂ්පාදකයන්ගෙන් ලබාගත හැක.

නිෂ්පාදන වියදම අධික වුවද බිත්තර නිෂ්පාදකයන් වෙනුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ලබාදෙන සහනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බිත්තර මිල පහළ දැමීමට තීරණය කළ බව එම සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා කියා ඇත.

බිත්තර නිෂ්පාදකයන්ගෙන් සියයට හැත්තෑවක් වයඹ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මඟින් බෙදා හැරෙන බවත් අඩු කළ මිලට බිත්තර බෙදා හැරීමට එම සංගමය සූදානම් බවත් අග්‍රමාත්‍යවරයාට මේ හමුවේදී දැනුම් දී තිබේ.

බිත්තරයක මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුකුළු පැටවකුගේ මිල රුපියල් 350.00ක තරම් ඉහළ මිලක් පවතින නිසා බවත් එම මිල රුපියල් 175.00 ක් දක්වා අඩු කර දෙන ලෙසත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඊට ප්‍රතිචාර ලෙස ඒ මොහොතේම විෂයභාර කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා සම්බන්ධ කරගත් අග්‍රාමාත්‍යවරයා, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ මේ ඉල්ලීම පිළිබඳ වහා අවධානය යොමු කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *