වීඩියෝ තාක්ෂණයෙන් පාසල් 25ක ක්‍රීඩකයන්ට එකවර පුහුණුවක්

(කොළඹ, ලංකාපුවත්) – රට පුරා විහිදී ඇති ජාතික ක්‍රීඩා පාසල් 25 ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අන්තර්ජාලය ඔස්සේ ජාලගත කොට වීඩියෝ තාක්ෂණය මඟින් එකවර ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ සම්බන්ධ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට යයි.

ඒ මඟින් ක්‍රීඩා පාසල් 25ම අවම වශයෙන් මසකට එක් දවසක් ඒ ඒ ක්‍රීඩාවට අදාළ ජාතික පුහුණුකරු සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී පුහුණු කටයුතු යාවත්කාලීන කර ගැනීමට නව යුගයට ගැළපෙන ක්‍රමවේදයක් සකසන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ සඳහා දැනටමත් පෞද්ගලික ආයතනයක් මිලියන 40ක ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළ කොට ඇති බව ඒ මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (04) පැවැති හමුවකදීය.

“මේ ජාලගත කිරීම හරහා. අපි එක කැමරාවක් ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්නවා. උදාහරණයක් ලෙස බොක්සිං ජාතික පුහුණුකරු වීඩියෝ තාක්ෂණය හරහා ක්‍රීඩා පාසල් 25 සිටින බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පුහුණු ක්‍රමවේද සිදු කරනවා. ඒ මොහොතේම දෙපාර්ශ්වයට ගැටලු සාකච්ඡා කරගන්න ඒ තාක්ෂණය ඔස්සේ පුළුවන්. ඉදිරියේදී අපි ක්‍රීඩාවක් සඳහාම වෙන් වූ පාසල් පන්ති කාමර නිර්මාණය කරනවා. උදාහරණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් වෙනුවෙන්ම පන්ති කාමරයක් සකස් කරන්න පුළුවන්. ක්‍රීඩා පාසල් සියල්ල වෘත්තීය පුහුණු අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගත කරලා එන්.වී.කිව්. අධ්‍යාපන මට්ටම් හරහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග හා සමාන පිළිගැනීමේ තත්ත්වයට ගේන්න කටයුතු කරනවා. මින් ඉදිරියට කියන්න බෑ විභාගය නිසා ක්‍රීඩාව නැවැත්තුවා කියලා. ක්‍රීඩා කළ නිසා විභාගය අසමත් වුණා කියලාත් චෝදනා කරන්න බෑ. අධ්‍යාපනයයි ක්‍රීඩාවයි එකට ගමන් කරන්න ක්‍රමවේදය සකස් කරනවා” ඇමැතිවරයා පැවැසීය.

“අපේ තරුණ තරුණියන් සියයට අනූනවයක් අද අන්තර් ජාලය හා සම්බන්ධ වෙලා ඉන්නේ. අප තීරණය කළා ක්‍රීඩා පුහුණුව සම්බන්ධව පාඩම් මාලාවක් සකස් කරලා අන්තර් ජාලය හරහා ගමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න. ක්‍රිකට් ආයතනය හා පාපන්දු සංගමය සතුව හොඳ ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ මා නිරීක්ෂණය කළා. සංවිධානාත්මකව මේ ක්‍රමවේදය ගමට ගෙන යන හැටි. ක්‍රීඩකයන්ගෙන් භාගයක් විතර ඉන්නේත් ජංගම දුරකතනයත් එක්ක. අප කොහොමද ඒක ක්‍රීඩාවට පාවිච්චි කරන්නේ. ජාතික ක්‍රීඩා සංගමයේ ඉන්න ජාතික තලයේ පුහුණුකරුවා හා ජාත්‍යන්තරයට ගිය ක්‍රීඩකයා හරහා ඔන්ලයින් පාඩම් මාලාවක් සකස් කරන්න පුළුවන්. ක්‍රීඩකයෝ වීඩියෝ බලලා තමන්ගේ අඩුපාඩු හදා ගන්න කැමැතියි. මා උත්සාහ කරන්නේ ඒ ක්‍රමවේදය හදන්නයි. ගමේ දරුවට පුහුණුකරුවෙක් නැතත් වීඩියෝ එක බලලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්” ඇමැතිවරයා පැවැසීය.

මෙරට ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අඩුවක් ඇති බවත් එය ග්‍රාමීය ක්‍රීඩාව දියුණු කිරීමට විශාල අඩුවක්ව පවතින බවත් ක්‍රීඩා පාසල් ප්‍රධානීන් කැඳවා කළ සාකච්ඡාවේදී හඳුනාගත් බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

“රටේ ක්‍රීඩාව වැටෙන්න හේතුවක් තමයි ගමේ ක්‍රීඩාව දුර්වල වීම. මෙයට වසර 10කට, 20 කට කලින් ගමේ ක්‍රීඩා සමාජවල තමයි ක්‍රීඩා තරු හිටියේ. හැම ගමකටම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. නැවත වතාවක් ගමේ ක්‍රීඩා සමාජ හදන්න අප කටයුතු කරනවා. මා දකින්නේ ක්‍රීඩාව රටට, සමාජයට, ආණ්ඩුවට, මව්පියන්ට බරක් නොවිය යුතුයි. ලෝකේ හැම රටකම දරුවෙක් ක්‍රීඩාවේ නියැළෙනවා කියන්නේ අම්මා තාත්තාට ආදායමක් ලැබෙනවා. අපේ රටේ දරුවෙක් ක්‍රීඩාවක් කරනවා කියන්නේ අම්මා තාත්තාට වියදම් ගොඩක්. සපත්තු දෙක, ට්‍රැක් කිට් එක අරන් දෙන්නේ කොහොමද, ළමයා කොළඹට එවන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. අපි මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. වසර 20කට පෙර අප ලෝකයේ හොඳ තැනක හිටියා. නමුත් පසුගිය වසර 10, 15 ඇතුළත අපි පහළට බැස්සා. ලෝක මට්ටමේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට අත් කර දීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍යයි” ඇමැතිවරයා පැවැසීය.

“අද තවත් ගැටලුවක් බොහෝ පාඩම් මාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැතීම. ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන පාඩම් මාලා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් හඩ කැවීම් කරලා ක්‍රීඩකයන් හට ලබා දෙනවා. එවිට ක්‍රීඩාවට ආදරේ කරන ගමේ දරුවාට ක්‍රීඩාවේ අගය දැනෙනවා. මේ ක්‍රමවේදය විද්වතුන් මගින් තව තවත් යාවත්කාලීන කොට හොඳ තැනකට ගෙනෙයි. ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා කිරීමේදී ඇති වන ආබාධ හා ඒවා වළක්වා ගන්නා ආකාරය පිළිබඳ හොඳ පාඩම් මාලාවක් සකස් කළ යුතුයි. ඒ ඒ ක්‍රීඩාවන්ට වෙනස් වූ ආබාධ පවතිනවා. අපි ඒ දේවල් ගමේ දරුවන්ට කියලා දෙන්න අවශ්‍යයි” නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. මේ රැස්වීමට ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *