මාස තුනක් තුළ සියැට් යතුරු පැදි ටයර් නිෂ්පාදනය 85% කින් වර්ධනය කරයි

(කොළඹ, ලංකාපුවත්) –රජය විසින් පනවා ඇති තාවකාලික ආනයන සීමාකිරීමේ කි‍්‍රයාවලියට ප‍්‍රතිචාර දක්වමින් දේශීය ඉල්ලූම සපුරාලීම සඳහා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෙරට යතුරු පැදි ටයර් නිෂ්පාදනය මාස තුනක කාලයක් ඇතුළත 85% කින් වර්ධනය කර ඇති බව නිවේදනය කර ඇත.

සමාගමේ කැළණිය සහ කළුතර කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරමින් සමාගම විසින් මෙතෙක් මාසයකට නිෂ්පාදනය කළ යතුරු පැදි හා ස්කූටර් ටයර් 27,000 ජූලි සහ අගෝස්තු මාස වලදී 41,000 දක්වා වර්ධනය කර ඇත. මෙය 52% ක වර්ධනයක් වන අතර සැප්තැම්බර් මාසය තුල යතුරුපැදි ටයර් 50,000 ක් නිපදවමින් තවත් 22% ක වර්ධනයක් අත්කර ගන්නා බව සමාගම සඳහන් කරයි.

සමාගම විසින් මෙසේ යතුරු පැදි ටයර් නිෂ්පාදන ධාරිතාවය විශාල වශයෙන් වර්ධනය කර තිබෙන්නේ දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් ට‍්‍රක් සහ බස්රථ ටයර් මෙන්ම මගී මෝටර් රථ රේඩියල් ටයර් නිෂ්පාදනයද වර්ධනය කරන අතරතුර වීම කැපී පෙනේ. මෙම වර්ධනයට පෙර ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිපදවූ සියැට් කැළණි සමාගම සඳහන් කරන්නේ යතුරු පැදි ටයර් නිෂ්පාදනය මේ ආකාරයෙන් වර්ධනය කිරීම සඳහා සමාගම විසින් සිය කළුතර පිහිටි කර්මාන්තශාලාවේ තී‍්‍ර රෝද රථ ටයර් නිෂ්පාදන පහසුකම්ද භාවිතා කළ බවයි.

සියැට් කැළණි සමාගම මේ වනවිට වර්ග 32 ක වෙනස් වූ මාදිලි 43 කට අයත් ස්කූටර් සහ යතුරු පැදි ටයර් නිෂ්පාදය කරන අතර දැන් මෙරට යතුරු පැදි ටයර් අවශ්‍යතාවයෙන් 37%ක් සපයයි.

‘ආනයන සීමා කිරීම මගින් තමන්ගේ සත්‍ය හැකියාව පෙන්වීමට දේශීය කර්මාන්ත වලට අවස්ථාවක් සහ අභියෝගයක් ලබාදී තිබෙනවා. මේ නිසා, දේශීය නිෂ්පාදනය වර්ධනය කරමින් ආනයන ආදේශනය කිරීමට අපේ සම්පූර්ණ ධාරිතාවයම යොදවමින් අපි රජයට සහයෝගය ලබාදී තිබෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණිසමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘මෙරට වඩාත් ජනප‍්‍රිය ටයර් වර්ග සහ ප‍්‍රමාණ වලට තිබෙන ඉල්ලූම සපුරාලීම සඳහා අපි අඛණ්ඩවම කටයුතු කරන අතරම අප දැනට නිෂ්පාදනය නොකරන ටයර් ප‍්‍රමාණ පිළිබඳව රජය දැනුවත් කරනු ලබන අතර, එමගින් එම ටයර් ප‍්‍රමාණයන් සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට සලකා බැලිය හැක.’

සියැට් විසින් ට‍්‍රක් සහ බස්රථ ටයර් නිෂ්පාදනය වැඩිකිරීම තුළින් එම අංශයේ දේශීය අවශ්‍යතාවය 100% ක්ම සපුරාලීමට සමත්වී තිබෙන අතර ඒ තුළින් වසරකට රුපියල් බිලියන 11 ක විදේශ විනිමයක් රටට ඉතුරුකර දීමට හැකි වනු ඇත. මීට අමතරව, ඩඞ්ලානි මහතා සඳහන් කළේ සමාගමේ නවතම කි‍්‍රයාවලිය වන යතුරු පැදි ටයර් නිෂ්පාදනය සීඝ‍්‍ර ලෙස ඉහළ දැමීම මගින් වසරකට තවත් රුපියල් මිලියන 350 ක විදේශ විනිමයක් මෙරටට ඉතිරිකර ගතහැකි වන බවයි.

මෙම ටයර් අංශයේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම නිසා ජනප‍්‍රිය ස්කූටර් මාදිලි වන Honda Dio, Yamaha Ray ZR, Honda Grazia, TVS Wego සහSuzuki Burgman යන මාදිලි සඳහා භාවිතා කරන 90/90-12TL සහ 90/100-10TL යන ටයර් ප‍්‍රමාණවල නිෂ්පාදනය 100% කින් වර්ධනය වී තිබෙන බව සමාගම සඳහන් කරයි. එසේම, TVS Apache, Bajaj Pulsar 160 NF සහ Bajaj Pulsar 180 යතුරු පැදි සඳහා භාවිතා කරන 90/90-17TLටයරයේ නිෂ්පාදනය 400% කින් වර්ධනය වී තිබෙන අතර ජනප‍්‍රිය Yamaha FZ යතුරු පැදිය සඳහා භාවිතා කරන 100/80-17TL ටයරයේ නිෂ්පාදන කටයුතුද 100% කින් වර්ධනය කිරීමට සමාගම කටයුතු කර ඇත. මේ අතර, Bajaj Pulsar 150, Bajaj CT 100, Bajaj Platina සහ TVS Heavy Duty Super XLසඳහා යොදන ටයර් නිෂ්පාදනයද විශාල වශයෙන් වර්ධනය කර ගැනීමට හැකි වී තිබෙන බව සමාගම සඳහන් කරයි.

සියැට් කැළණි සමාගම සඳහන් කරන්නේ නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීම සඳහා අමතර ආයෝජනයක් සිදුකිරීම සහ වෙළඳපොළ මිල ගණන් වැඩිවීම හමුවේ වුවද පාරිභෝගිකයින්ට සහ ආර්ථිකයට සහයෝගය දැක්වීම සඳහා සමාගම විසින් 2019 දෙසැම්බර් මාසයේ සිට අලෙවිකරන ටයර්වල මිල ගණන් වෙනස් නොකළ බවයි.

මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම 2018 ජනවාරි මාසයේදී නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කළ රුපියල් බිලියන 03 සමග මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්,SUVවාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්)යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *