‘New Diamond’නෞකාවට නාවික හමුදා කණ්ඩායම් ඇතුළු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –ගින්න පාලනය කළ “New Diamond” නෞකාවේ තත්වය පරීක්‍ෂා කිරීමට විදේශීය හා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ඊයේ ඇතුළුවී තිබේ.

පසුගිය සැප්තැම්බර් 07 වන දින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත වර්ධනය වූ MT New Diamond නෞකාවේ ගිනි ගැනීම ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු අනෙකුත් ආපදා කළමණාකරන කණ්ඩායම්හි සාර්ථක අඛණ්ඩ මෙහෙයුම් හමුවේ මේ වන විට මුලුමනින්ම පාලනය වී ඇත.

ගිනි ගැනීම පාලනය කරන ලද MT New Diamond නෞකාවේ ගබඩා කර ඇති බොරතෙල් සංචිතයන් ඉතා සුරක්‍ෂිතව පවතින බවට නිරීක්‍ෂණය වන අතර, එම සංචිත වෙත ගින්න පැතිරයාම ආපදා කළමණාකරන කණ්ඩායම් සිදුකළ මහත් ප්‍රයත්නය හමුවේ වැළකීගිය අතර, එමගින් සිදුවීමට හැකිව තිබූ විශාල පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට හැකි විය.

2020 සැප්තැම්බර් 09 වන දින අළුයම් කාලය වන විට ආපදාවට ලක් වූ නෞකාවේ ඇතිව තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් පසු එදින දහවල් ආපදා කළමණාකරනය පිළිබඳ විදේශීය විශේෂඥයන් තිදෙනෙක් (03) නෞකාවට ගොඩ වී එහි තත්වය නිරීක්‍ෂණය කරන ලදි. එමෙන්ම එදින සවස් කාලයේදී තවත් විදේශීය විශේෂඥයින් හය දෙනෙක් ආපදාවට ලක් වූ නෞකාවට ගොඩ වී නිරීක්‍ෂණ කටයුතු සඳහා එක් විය.

එමෙන්ම MT New Diamond නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු සඳහා නම් කර ඇති විදේශීය සමාගම මගින් යොමු කරන ලද ආපදා කළමණාකරන මෙහෙයුම් සඳහා යොදා ගන්නා ටග් යාත්‍රාවක් 2020 සැප්තැම්බර් 09 වන දින රාත්‍රී කාලයේ ආපදාවට ලක් වූ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයට පැමිණ මෙහෙයුම් සඳහා එක් විය. එමෙන්ම අද උදෑසන විදේශීය ආපදා කළමණාකරන විශේෂඥයින් 17 දෙනෙකු හා ආපදා කළමණාකරනය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිව් දෙනෙකුගෙන් (04) යුත් කණ්ඩායමක් MT New Diamond නෞකාවට ගොඩ වී එහි නිරීක්‍ෂණ කටයුතු සහ සිදුව ඇති ආපදාව තක්සේරු කිරීමේ කටයුතු වල නිරතව සිටී.

ආපදාවට ලක් වූ නෞකාව මේ වන විට කල්මුණේ සිට නාවික සැතපුම් 50 ක් පමණ (කිලෝමීටර 93 ක් පමණ) ගැඹුරු මුහුදේ රඳවාගෙන එම මුහුදු ප්‍රදේශයේ පවතින රළු ස්වභාවය ද හමුවේ මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් සිටී.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා 09 ක් සැපයුම් යාත්‍රා ලෙස යොදාගනු ලබන ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා ‍02 ක් හා ශ්‍රී ලංකා නාවික හමුදා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝනයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 03 ක් හා අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් ටග් යාත්‍රා 06 ක් මෙම මෙහෙයුමට තවදුරටත් සම්බන්ධ වී සිටින අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා හා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් නිරීක්‍ෂණ කටයුතු වල නිරතව සිටී.

අද දිනයේදී මීටර 10 ත් 30 ත් අතර පළලකින් යුත් නාවික සැතපුමක් පමණ දිගකින් යුත් තෙල් පැල්ලමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 වර්ගයේ ගුවන් යානාවක් මගින් නිරීක්‍ෂණය කරන ලද අතර, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානාව යොදාගෙන එම තෙල් පැල්ලම පිහිටන මුහුදු ප්‍රදේශයට විශේෂිත රසායනික ද්‍රව්‍යක් ඉසීමට කටයුතු කරන ලදි. තවද, මෙම තෙල් පැල්ලමද නෞකාවෙන් බොරතෙල් කාන්දු වීමක් නිසා සිදු වූවක් නොවන බවට විශ්වාස කෙරේ.

එමෙන්ම මේ වන විට නෞකාවේ මූලික විමර්ශන කටයුතු සම්පූර්ණයෙන් අවසන් වී ඇති අතර, ගින්න නිවීම සඳහා භාවිතා කළ ජලයෙන් නෞකාවේ පසුපස පිහිටි ඉන්ධන කාමරය හා පොම්පාගාරය ඇතුළු කොටස් පිරී ගොස් නෞකාව සමාන්‍ය පිහිටීමෙන් වෙනස්ව පිටුපසට බරව ඇත.එබැවින් එම ජලය නෞකාවේ ඉන්ධන, දැවිතෙල් හා වෙනත් රසායන ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වී මුහුදට එකතුවීම මෙම තෙල් පැල්ලම් ඇති වීමට හේතු වී ඇති බවට සැක කෙරේ.

ආපදාවට ලක් වූ නෞකාවේ එන්ජින් කාමරය සහ පිටුපස පිහිටි අනෙකුත් කොටස් තුළ ගිනි ගැනීම හේතුවෙන් විෂ වායූන් ඇති වී තිබීම මත එම විෂ වායූන් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *