අනාගතයේ මෙරට ප්‍රධාන ආදායම් මඟ වරාය නගර ව්‍යාපෘතියයි

(කොළඹ, ලංකාපුවත්) – අනාගත ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වන්නේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය බව හය වැනි සංවත්සරය සමරන වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

චීන ජනාධිපති ෂී ජින් පින් සහ එවකට මෙරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරු 2014 සැප්තැම්බර් මස 17 වැනි දා වැඩ ආරම්භ කළ කොළඹ වරාය නගරයට වැය කෙරෙන මුදල ඩොලර් බිලියන 15කි. එමගින් රැකියා 83,000ක් උත්පාදනය කෙරේ.

වරාය නගරය වෙනුවෙන් හෙක්ටයාර 269ක් මුහුද ගොඩ කර භුමිය සකසා ඇති අතර, කිලෝමීටර 3. 2ක් දිගු වන දිය කඩනයේ ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබේ.

වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත විය.

අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යවරයා විසින් මැයි මාර ගසක් රෝපණය කරන ලදි. ඉදිවෙමින් පවතින වරාය නගරයේ ආදර්ශ ආකෘතිය සහිත ප්‍රදර්ශන පීඨයට ගිය අග්‍රාමාත්‍යවරයා දැනට සිදුවන ව්‍යාපෘතියේ යටිතල පහසුකම් සංවර්ධනය වන ආකාරය ගැන විමසා සිටියේය.

පසුගිය පාලන කාලයේ යම් යම් සිදුවීම් නිසා වසර දෙකක පමණ කාලයක් වරාය නගරයේ ඉදිකිරීම් ප්‍රමාද වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා දැන් නැවත වරක් එහි ඉදිකිරීම් අරඹා තිබෙන බව ප්‍රකාශ කළේය.

මේ රට මුහුදු ඛාදනයට ලක් වන බව කුඩා කල පටන් අසා තිබුණු නමුත් පළමු වතාවට මුහුද රටට එකතු කරන්නට හැකි වුණේ කොළඹ වරාය නගරය ඉදිකිරීම මගින් බවත් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ වරාය නගරය ඉදිකිරීමට දුන් සහයට චීන රජය ස්තුතිවන්ත වන බව පැවසූ රාජපක්ෂ මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වැනි සංවත්සරයට මෙන්ම ඔක්තෝබර් 01 දිනට යෙදෙන චීනයේ ජාතික නිදහස් දිනයටත් සුබපැතීමට මෙය අවස්ථාවක් කරගත්තේය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ශ්‍රී ලංකවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි,කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කළමනාකරණ අධ්‍යක්ෂ ජියන් හෝයි ලින්ග් මහත්වරු ඇතුළු වරාය නගර ව්‍යාපෘතියේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *