ජනතාවගේ ආහාර සුරක්ෂිත හා පෝෂ්‍යදායි කිරීමට නව ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) –ගොවිපොළේ සිට කෑම පිඟාන දක්වා ජනතාවගේ ආහාර පිළිබඳව විවිධ පැතිකඩ වලින් අධ්‍යයනය කරන්නට මෙවර ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසි අවධානය යොමු කර තිබුණි. “සුරක්ෂිත හා පෝෂ්‍යදායි ආහාර: සැමගේම වගකීමක් ” තේමාව යටතේ බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමටත්, පරිපුර්ණ සහ සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමටත් ලාංකීය ජනතාව බලගැන්වීමට කාලෝචිත ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය විය.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මෙම රිදී ජුබිලි වාර්ෂික අධ්‍යයන සැසි සැප්තැම්බර් 16 සිට 18 දක්වා කොළඹ ෂැන්ග්‍රි ලා හෝටලයේදී පැවැත්වුණි.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර දිසානායක මහතා “අනාගතයට එබී බැලීම: පශ්චාත් කොවිඩ්19 යුගයේ අපේ ජනතාවගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව යලි සිතාබැලිය යුතුද ? ” මැයෙන් වාර්ෂික දේශනය ඉදිරිපත් කළේය. කොවිඩ්19 වසංගතයට එරෙහි රාජ්‍ය ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය පිළිබඳව විශේෂ ආරාධිත විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා කතා කළේය.

මෙවර අධ්‍යයන සැසි පුර්ව වැඩමුළු, දේශන සහ නව පර්යේෂණ එලි දැක්වීම ඇතුළත් විවිධ විෂය පථ වලින් සමන්විත විය. ආහාර නිෂ්පාදනයේ නව සොයාගැනීම් සහ ජීව තාක්ෂනය උපයෝගී කරගැනීම සහ ආහාර සුරක්ෂිතතාවයේදී අවදානම් මත පදනම් කරගත් තීරණ ගැනීම පිළිබඳවද දේශන ඉදිරිපත් විය. “මුළු ආණ්ඩුව” සහ මගහැරුණු “මුළු සමාජ ප්‍රවේශය ” තේමාව යටතේ ශ්‍රී ලංකාවේ කොවිඩ්19 මර්ධනයේදී විවිධ අංශ වල අත්දැකීම් විග්‍රහවුණු විශේෂ සැසියක් ද සංවිධානය කර තිබුණි. විද්වත් මණ්ඩලයක් “කොවිඩ්19 ආර්ථික බලපෑම: ජාත්‍යන්තර, කලාපිය සහ රාජ්‍ය මට්ටමේදී තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී ඇතිවන අභියෝග” ගැන සාකච්ඡා කළහ.

මාතෘ හා ළමා සෞඛ්‍යය, මානසික යහපැවැත්ම, ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය, වැඩිහිටි සෞඛ්‍යය සහ ආසාදන පාලනයේ නවතම ක්‍රමවේද ආවරණය වූ විශේෂ සැසි දින දෙක පුරාම පැවැත්වුණි.

මෙම අධ්‍යයන සැසි තුලින් එළිදැක්වුණු නවතම විද්‍යාත්මක සාක්ෂි සහ දැනුම මෙරට සෞඛ්‍ය පද්ධතියේත්, පර්යේෂණ වලත් තත්ත්වය උසස් කිරීමට ඉවහල් වනු ඇතැයි ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම විද්වත් ආයතනය විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *