අලි මිනිස් ගැටුම විසඳීමට විද්‍යාත්මක ප්‍රවේශයක්

(කොළඹ, ලංකාපුවත්) – බොහෝ දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජනතාව මුහුණ දෙන සමාජ ගැටලුවක්ව පවතින අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ විසඳීම් සෙවීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සහ වනජීවී රැකවරණ හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දින විෂය භාර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ සහ විමලවීර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සීතා අරඹේපොල අමාත්‍යවරියගේ උපදෙස් මත එම අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ ආයතන මෙරට පොදු ජනතාව මුහුණ දෙන සමාජ ගැටලු වලට විද්‍යාත්මක පර්යේෂණ දැනුම මගින් විසඳුම් සෙවීමට ඉදිරිපත්ව සිටී. ඒ අනුව අලි මිනිස් ගැටුමට ප්‍රායෝගික විද්‍යාත්මක විසඳුම් තිරසාර ලෙස යොදා ගැනීම පිළිබඳව මෙහි දී සාකච්ඡා විය. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මත වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික මූලික අධ්‍යයන ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය, මේ වන විටත් මේ පිළිබඳව පර්යේෂණ ගණනාවක් සිදු කෙරෙමින් පවතින අතර, ඉන් කිහිපයක සාර්ථක නියමු පරික්ෂාවන්ද සිදුකර තිබේ. ඉදිරියේ දී මෙම පර්යේණයන් තවත් පුළුල් කොට මෙම ගැටලුවට විද්‍යාත්මක විසදුම් ලබා දීම සඳහා නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සහ ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීමට නියමිතය.

වන අලි ගම් වලට පැමිණීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අවශ්‍ය ආහාර සහ ජලය ප්‍රමාණවත්ව නොමැති වීම බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කොට ඔවුන් වනජීවී සීමාවන්ට කොටු කළ හැකිනම් මෙම ගැටලුවෙන් 50% ක පමණ ප්‍රතිශතයක විසඳුම් ලැබෙන බවත් මෙහි දී ප්‍රකාශ විණි. වනය තුළ ඇති කුළු වැව් ප්‍රතිසංස්කරණය කර එම කුළු වැව් මගින් මහ වැව් පෝෂණය කරන පැරණි ක්‍රමය නැවත ස්ථාපිත කිරීමත්, අලින්ට ආහාර පිණිස වේගයෙන් වර්ධනය වන දේශීය තෘණ වර්ග හඳුනාගෙන එම වගාවන් ඇති කිරීමත් පිළිබඳව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සහ ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් පර්යේෂණයන්හි නිරත වේ.

නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ මූලිකත්වයෙන් සාම්ප්‍රදායික අලි වැට වෙනුවට ඉහල කාර්යක්ෂමතාවක් සහිත එල්ලෙන අලිවැටක්, අලියාට විනාශ කළ නොහැකි ලෙස වැඩි දියුණු කළ වැට කණුවක්, පාලනය කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු ප්‍රචණ්ඩකාරී ලෙස හානි සිදුකරන අලි සඳහා පැළඳිය හැකි විශේෂ සංඥා ලබාදෙන කොලර් සිස්ටම් එකක් නිර්මාණය කර ඇති අතර කරුවලගස්වැව, උඩවලව සහ අම්පාර ප්‍රදේශවල එහි නියමු පරීක්ෂාවන් ද සිදුකර තිබේ. වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම වෙනුවෙන් මංජු ගුණවර්ධන මහතාගේ ද මග පෙන්වීම ඇතිව දුම්රිය දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සාර්ථක ඩ්‍රෝන තාක්ෂණික යෙදවුමක් ද නිර්මාණය කර තිබේ. කාර්මික තාක්ෂණ ආයතනය මගින් වන අලි ප්‍රහාර වලින් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නිවේදනය පදනම් කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.

මෙහි දී අදහස් දැක්වූ ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කළේ මෙම ගැටලුව විසඳීමට අප අමාත්‍යාංශයත්, වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයත්, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදී ආයතනත් එකට එක්වීම තුළින් ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් සාර්ථක විසඳුම් සෙවීම පහසු වන බවයි. එසේම මෙම සමාජ ගැටලුවට විසඳුම් සෙවීමේ දී ප්‍රමුඛතාව ලබාදිය යුතු ප්‍රදේශ හඳුනාගනිමින් නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කළ යුතු බව ද ඇය පෙන්වා දුන්නා ය.

මූල්‍යමය හා නීතිමය ගැටලු ද විසඳාගනිමින් දැවෙන ප්‍රශ්නයකට විසඳුම් සෙවීමට උත්සාහ කරන බවත්, සාමූහික ප්‍රයත්නයක් තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව විශ්වාස කරන බවත් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා, අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, වනජීවී රැකවරණ හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *