ජීවන වියදම් නියාමනයට තීරණ රැසක්

(කොළඹ, ලංකාපුවත්) – ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව වෙළෙඳපොළට සැපයෙන බවට තහවුරු කර ගැනීම සහ ජීවන වියදම ස්ථාවරව පවත්වා ගැනීම නියාමනය කිරීම වෙනුවෙන් ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේදී එළැඹුණු තීරණ අනුව කටයුතු කිරීමට රජය තීරණය කරයි.

මෙම අනුකාරක සභා රැස්වීමේදී එළැඹි තීරණ වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, එම තීරණ අනුව කටයුතු කිරීමට සඳහා අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර ඇත.

ඒ අනුව, ජීවන වියදම අඩු කිරීමට කටයුතු කිරීමේදී එම ගැටලුව දැඩි ලෙස බලපාන කාණ්ඩ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, ගොවීන් වගාවට නැඹුරු කිරීමට හැකි වන පරිදි ස්ථාවර දේශීය ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යාම හා ආනයනය අත්‍යවශ්‍ය භාණ්ඩවලට පමණක් සීමා කිරීම, අතරමැදියාගේ බලපෑම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යන බැවින් ගොවියාගේ නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා දෙමින් පාරිභෝගිකයාට සාධාරණ මිලකට භාණ්ඩ ලබාගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම, දේශීයව වගා කළ හැකි ඉහළ ගුණත්වයෙන් යුත් බීජ වර්ගවල පවතින හිඟයට පිළියමක් වශයෙන් හා භාවිතයෙන් ඉවත් වෙමින් පවතින දේශීය බීජ වර්ග සංරක්ෂණය කිරීම සඳහා බීජ බැංකුවක් පිහිටුවීම, එළවළු හා පලතුරු වැනි නිෂ්පාදනවල මිල නියාමනය කරමින් දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත කාර්යක්ෂම ලෙස බෙදා හැරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමිව තිබේ.

එසේම, ගොවියාගේ නිෂ්පාදන සෘජුව ම මිල දී ගෙන නගරවල ජනාකීර්ණ ස්ථානවල අලෙවි කිරීම සඳහා වැවිලි අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය හා වෙළෙඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම, දේශීය වශයෙන් වගා කළ හැකි අතිරේක භෝග වගාව කෙරෙහි ගොවීන් විශාල වශයෙන් නැඹුරු වී ඇති බැවින් එවැනි භෝග ආනයනය අත්හිටුවීම හා වෙනත් ආවේණික දේශීය එළවළු වර්ග නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, ආනයනය කළ යුතු භෝග වර්ග සඳහා දේශීය වශයෙන් ආදේශ කළ හැකි භෝග ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රමුඛතාව ලබා දීම, මහ කන්නයේ වී අස්වැන්න වෙ‍ළෙඳපොළට ලැබෙන තෙක් සහල් මිල ඉහළ නොයන පරිදි ආරක්ෂිත තොග පවත්වාගෙන යමින්, රජය නියම කර ඇති සහතික මිලට වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බවට තහවුරු කර ගැනීමට ද කැබිනට් මණ්ඩලය එකඟත්වය පළ කර තිබේ.

තවද, කුකුළු කෑම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, විශේෂයෙන් බඩ ඉරිඟු ආනයනය සම්පූර්ණයෙන් නවතා ඇති බැවින් බඩ ඉරිඟු මිල ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් කුකුළු මස් හා බිත්තර මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා බඩ ඉරිඟු වෙනුවට ආදේශකයක් වශයෙන් තාවකාලික ආනයන බලපත්‍ර මත තිරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දී ඇත. ඒ අනුව, රට තුළ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉඩම්, බීජ, පොහොර සහ අවශ්‍ය තාක්ෂණය ලබා දීම සඳහා යෝග්‍ය වැඩ පිළිවෙලක් අදාළ වගකිව යුතු ආයතන විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.

පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට මාළු මිල දී ගැනීමට හැකි වන පරිදි අලුතින් විවෘත කිරීමට සැලසුම් කර ඇති ධීවර සංස්ථා අලෙවිසල් 40 කඩිනමින් විවෘත කිරීම, දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණික දැනුම කිරි ගොවීන්ට ලබා දීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට පොල් මිල දී ගැනීමට හැකි වන පරිදි වැවිලි අමාත්‍යාංශය විසින් ජනාකීර්ණ නගරවලදී පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ද කැබිනට් මණ්ඩල එකඟත්වය හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *