ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාවට නංවන්න

(කොළඹ, ලංකාපුවත්) – දැනටමත් කෙටුම්පත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය කඩිනමින් සංවාදයට යොමු කර ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය.

රටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වසර ගණනාවකින් සිදු නොවීම වත්මන් රැකියා වෙළෙඳපොළ ගැටලුවලට හේතු වී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ඊයේ (24) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

අනාගත ලොවට වැඩදායී, ආර්ථිකයට සහ සංවර්ධනයට දායක විය හැකි පුරවැසියකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාලය හුදෙක් උපාධි ප්‍රදානය කරන ආයතනයක් නොවිය යුතු අතර, රටට, ආර්ථිකයට මෙන්ම උපාධි ලාභියාටද ඉන් ප්‍රතිලාභ අත් විය යුතු බවත් ජනාධිපති රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් නව විෂය නිර්දේශ කඩිනමින් හඳුන්වා දෙන්නැයි රාපජක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට කියා සිටියේය.

රට තුළ සහ අන්තර්ජාතිකව විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් පුරප්පාඩුව පවතී. එහෙත් ඊට අවශ්‍ය ශ්‍රම බළකාය අධ්‍යාපන ක්‍රමය විසින් බිහි කර නැත.

“රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට නම් ඔවුන් නව දැනුමෙන්, කුසලතාවෙන් සහ නිපුණතාවෙන් පෝෂණය කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තක්. තරුණ තරුණියන්ට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අතරමං වීමට ඉඩ නොතබා පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන තෙක් පැහැදිලි මාර්ග සැලැස්මක් සකස් කළ යුතුය. එමගින් තාක්ෂණික අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමටත්, අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තාක්ෂණ භාවිතය පුළුල් කිරීමටත් පිළිවන්. අධ්‍යාපනයට අදාළ සියලු ආයතන එක අමාත්‍යාංශයක් යටතට ගත්තේ මේ අරමුණ සපුරා ගැනීමට” ජනාධිපතිවරයා පැවසීය.

ජාති, ආගම් භේදයකින් තොරව සෑම දරුවකුටම සමාන අධ්‍යාපන අවස්ථාවක් දීම අනිවාර්යය වන අතර, රටට ඔබින ඵලදායී පුරවැසියකු බිහි කිරීම රජයේ වගකීමක් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය මඟ හැරුණු දරුවාට, වයස් සීමාවකින් තොරව නැවත අපේක්ෂිත අධ්‍යාපන ඉලක්ක වෙත ළඟාවීමට නව ප්‍රතිසංස්කරණයෙන් පසුබිම සකස් විය යුතුය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කළේය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන්ට උපාධිය දක්වා යෑමට අවශ්‍ය වැඩපිළිවෙළක් සේම උපාධිධාරියා රැකියාවක් ඉල්ලා පාරට නොබසින, රැකියා වෙළෙඳපොළ උපාධිධාරියා සොයා එන අධ්‍යාපන ක්‍රමයක කඩිනම් අවශ්‍යතාව දීර්ඝ සාකච්ඡාවට ලක් කෙරිණ.

ඉදිරි වසරේ දී විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සංඛ්‍යාව 31,000 සිට 41,000 දක්වා වැඩි කර තිබේ. විවෘත විශ්වවිද්‍යාලයට වැඩි පුර ඇතුළත් කර ගන්නා සංඛ්‍යාව දස දහසකි. තොරතුරු තාක්ෂණ උපාධිය හැදෑරීම පිණිස දස දහසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *