බන්ධනාගාරගතවූ පසු වැඩියෙන්ම දුක් විදින්නේ ගෙදර සිටින දරුවන්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාරගතවූ පසු වැඩියෙන්ම දුක්විදින්නේ පවුලේ උදවිය, දරුවන් සහ දෙමව්පියන්බවත් බන්ධනාගාරගතවූවන් ආරක්ෂිතව මෙහි සිටියත් සමාජයෙන් එන පීඩන සියල්ලටම මුහුණ දෙන්නේ ගෙදර උදවිය බවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඊයේ (01) වටරැක බන්ධනාගාරයේ පැවති ලෝක ළමා දින සැමරුම සහ සිරකරු පවුල් හමුවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කලේ මෙතැනින් එලියට යද්දි ආවේග පාලනය කරගත යුතු බවත්, හිත පාලනය කරගත යුතු බවත්, විශේෂයෙන් මනස නිරවුල් කරගැනීමේ ක්‍රමවේද පිළිබදව අවබෝධයක් ලබාගත යුතු බවත්ය. බන්ධනාගාර මෙසේ පිරී තිබෙන්නේ කොහේ හෝ සිදුවූ වරදක් හේතුවෙන් බවත් එය දෙමව්පියන් නිසා හෝ සමාජය නිසා හෝ අපේ මේ තියෙන අධ්‍යාපන ක්‍රමය තුල පවතින යම් යම් ගැටලු හේතුවෙන් නිසා විය හැකි බවත් රාජ්‍ය ඇමතිවරිය පැවසුවාය.

බන්ධනාගාර රැදවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර ගැනීමේ සහ සමාජගත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති ඇවන්ට්ගාඩ් ව්‍යාපෘතිය පිළිබදවත් මෙහිදී ප්‍රසාදයෙන් කතා කල රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර සිටියේ රජයත් පුද්ගලික අංශයත් එකතුවෙලා කරගෙන යන මේ ව්‍යාපෘතිය ඉතා වැදගත් එකක් බවත් මෙවැනි ව්‍යාපෘතියක් හදුන්වාදී රැදවියන්ව සාර්ථක පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට මෙවැනි වැඩපිළිවෙලක් හදුන්වාදීම පිළිබදව ශ්‍රී ලාංකිකයෙකු ලෙසත් රජයක් හැටියටත් තමන් විශේෂ ස්තුතියක් නිශ්ශංක සේනාධිපතිතුමාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයටත් පුදකර සිටින බවයි.

මෙම වැඩසටහනේදී ඇවන්ට්ගාඩ් සමූහ ව්‍යාපාරය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව සිදුකරගෙන යනු ලබන රැදවියන් රැකියා නියුක්තිකයන් කර සමාජගත කිරීමේ ව්‍යාපෘතියට එක්ව සිටින රැදවියන්ට බැංකු ගිණුම් විවෘත කර බැංකු පොත් සංකේතාත්මකව ඔවුන් වෙත ලබාදීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *