මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ පළමු-දෙවැනි ආශ්‍රිතයන් නිරීක්ෂණය වුණා

(කොළඹ, ලංකාපුවත්) – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පළමු සහ දෙවැනි ආශ්‍රිතයන් දක්වා විහිදී ගිය අවස්ථා නිරීක්ෂණය වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එක් කොවිඩ් ආසාදිතයකු හරහා 522ක් වැනි පිරිසකට වයිරසය පැතිරිය හැකි බවත් වෛරසය සමාජ ගත වී ඇති බවට තවම නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කළ නොහැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පැවසීය.

පෙරේදා (10) දින වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයන් අතර මිනුවන්ගොඩින් 26 දෙනෙක්, ගම්පහ ප්‍රදේශයෙන් 23 දෙනෙක්, දිවුලපිටියෙන් 22ක් වශයෙන් එම ප්‍රදේශවලින් බහුතරයක් හමුවන බව පැවැසූ යුද හමුදාපතිවරයා ඊට අමතරව පානදුරින් එක් ආසාදිතයෙක්, කොළඹින් දෙදෙනෙක්, පොළොන්නරුවෙන් දෙදෙනෙක්, මාතලෙන් එක් අයෙක් වශයෙන් රටේ විවිධ ප්‍රදේශවලින් එක් අයෙක් හෝ අඩුම වශයෙන් හමු වී ඇති බව කීවේය.

වයිරසය සමාජගත වීම රැඳී පවතින්නේ ජනතාවගේ හැසිරීම අනුව බවත් මෙම අවස්ථාවේදී කොවිඩ් -19 වයිරසයේ පළමු ආසාදිතයා කවුරුන්ද යන්න තවමත් හඳුනා ගැනීමට හැකියාවක් නැති වුවද වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ඊළඟට මෙම වෛරසයට ගොදුරු විය හැක්කේ කවුරුන්ද යන්න කෙරෙහි බවත් ඒ මහතා කියා සිටියේය.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව පසුගිය මස 21වැනි දා සිටම අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වෛද්‍ය අංශයට අසනීප තත්ත්වයන් වාර්තා කළ සේවකයන් සිට ඇති බවද අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත්වූ සියලු දෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ සඳහා යොමුවිය යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හටගත් කොවිඩ් පොකුර 1186 ක් දක්වා ඉහළ ගොස් ඇති එහෙයින් බොහෝ සේවකයන් මේ වනවිට PCR පරීක්ෂණ සඳහා මුහුණ දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *