ශ්‍රී ලංකාවේ සංවර්ධනයට චීනයෙන් කෝටි 1,650ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා රුපියල් කෝටි 1,650 (යුවාන් මිලියන 600ක) මුදලක් ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බව චීනය අවධාරණය කරයි.

මෙලෙස ලබාදුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ් කාලය තුළ ග්‍රාමීය පළාත්වලට වෛද්‍ය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය ආදී මූලික කාරණාවලට භාවිත කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

මේ අතර චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක සහන ණයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිස අතර පැවැති සාකච්ඡාවල දී මෙම කටයුතු අවසන් කර ඇති බව වාර්තා වෙයි.

වසර 10ක කාලයක් තුළ ණය ආපසු ගෙවීමට නියමිතව ඇත.

ඒ අනුව, අදාළ සහන ණය බොහෝ දුරට කෝවිඩ් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *