නැගෙනහිර පළාත කොවිඩ් – 19 අවදානමට පෙර සූදානම් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නැගෙනහිර පළාතේ කොවිඩ් – 19 අවදානමට ලක්වීමට ඉඩ ඇති වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ නිළධාරින් සහ රජයේ නිලධාරින් නිරෝධායනය සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහා අවශ්‍ය මධ්‍යස්ථාන සූදානම් කරන්නැයි පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අදාළ බලධාරින්ට නියෝග කළාය.

ඒ සදහා පළාත් සභාව යටතේ පවතින පුහුණු මධ්‍යස්ථන, දැනට භාවිතයට නොගන්නා නිලනිවාස සහ සංචාරක බංගලා භාවිතයට ගන්නා ලෙසද ආණ්ඩුකාරවරිය කිවාය.

ඊට අමතරව පළාතේ රජයේ කාර්යාලය සේවකයින් සදහා හැකිතාක් දුරට ප්‍රවාහන පහසුකම් සපයා දෙන ලෙසද ආණ්ඩුකාරවරිය කියා සිටියාය. කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සදහා පළාතක් ලෙස අවශ්‍ය තීන්දු තීරණ ගැනිම සදහා වන විශේෂ සාකච්ඡාවක් සදුදා (26) පස්වරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

මේ සදහා පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු පළාතේ සියළු අමාත්‍යංශ ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එක්ව සිටියහ. එහිදි ආණ්ඩුකාරවරිය අවධාරණය කළේ යුරෝපා රටවල මෙම තත්වය පාලනය කර ගැනිමට නොහැකි වුයේ කොවිඩ් – 19 වෛරසය සෞඛ්‍ය නිළධාරින්ට වැළදිමට පටන් ගත් නිසා බවය.

එම නිසා අපේ රටේ සෞඛ්‍ය කාර්යය මණ්ඩල හැකි තරම් ආරක්ෂා කර ගත යුතු බවත් පළාතක් ලෙස ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් ලබාදිමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාවරිය පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට නියෝග කළාය. මේ අතර පළාතේ ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති බාධාවකින් තොරව සිදු කර ගෙන යාමට අවශ්‍ය කටයුතු සුදානම් කරන ලෙසද ආණ්ඩුකාරවරිය පළාත් ලේකම්වරුන් හමුවේ වැඩිදුරටත් කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *