සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කරයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද(19) නියෝග කළේය.

මෙම තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී .

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

අදාළ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණි.

ඒ අනුව මෙම පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

මෙහිදී ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා සහ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සහ නීතිඥ ශාන්ත ජයවර්ධන යන මහත්වරුන් ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යේෂ්ඨ නීතිඥ කාංචන රත්වත්තේ, නීතීඥ ජනක රණතුංග සහ නීතීඥ තුෂාර සමන්පාලි යන මහත්වරුන් අනුෂ පැල්පිට මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *