අයිස් , හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ නැගෙනහිර නාවික විධානයන් තුල සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් අයිස් , හෙරෝයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 06 ක් නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත්විය.

උතුරු මැද නාවික විධානය මගින් 2020 නොවැම්බර් මස 18 වනදා මන්නාරම පොලීසිය හා එක්ව මන්නාරම, කරිසාල් ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා සූදානම් කර තිබූ අයිස් (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 49 මිලි ග්‍රෑම් 490ක පමණ ප්‍රමාණයක් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 440ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කල අතර, නොවැම්බර් මස 16 වන දින ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ප්‍රදේශයේ හුදෙකලා ස්ථානයක පදුරක් අසල ප්ලාස්ටික් බෝතල් දෙකක් (02) තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 01 ග්‍රෑම් 941ක පමණ ප්‍රමාණයක්ද සොයාගැනීමට හැකිවිය.

තවද, නැගෙනහිර නාවික විධානය මගින් සර්ධාපුර විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් හා එක්ව නොවමැබර් මස 10 වන දින ත්‍රිකුණාමලය 04 කණුව ප්‍රදේශයේ සිදුකල තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා සූදානම් කර තිබූ කේරළ ගංජා ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, නොවමැබර් මස 14 වන දින ත්‍රිකුණාමලය, සිරිමාපුර ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා ළඟ තබාගෙන සිටි තවත් කේරළ ගංජා ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

පවතින කොව්ඩ් 19 අවදානම් තත්වය හමුවේ සියළු සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව සිදු කල මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 44ත් අතර වයසේ පසුවන මන්නාරම, මදුරංකුලිය, ත්‍රිකුණාමලය සහ චීන වරාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තහවුරු කර ගැනීමට හැකිවූ අතර, අදාල සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, උප්පුවේලි සහ ත්‍රිකුණාමලය පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *