පාසල් 5100ක 6 -13 ඉගැන්වීම් ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහය ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක 6 සිට 13 ශ්‍රේණිය දක්වා වන සිසුන් සඳහා ඉගැන්වීම් අද සිට ක්‍රියාත්මකයි. දිවයිනේ 10,165ක් වන සියලු රජයේ පාසල් අතුරින් බස්නාහිර පළාත හා හුදෙකලා ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5233ක් පවතියි.

රට තුළ දැනට පවතින වාතාවරණය හමුවෙ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් 5ක් සහ වයඹ පළාතේ කුරුණෑගල පාසල් කිහිපයක් ද සබරගමුව හා සෙසු ප්‍රදේශවල පාසල් කිහිපයක් ද හැරුණු කොට පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක ඉගැන්වීම් අද සිට ආරම්භ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, ඒ සඳහා සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට අදාළ සියලු පාර්ශව සහය කර ගන්නා ලෙස සියලු පළාත්,කලාප සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි. ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේ දී තීරණය කිරීමට නියමිතයි.

එක් එක් පාසල් වෙත ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කර ගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *