විදුලි පද්ධතියේ දෝෂයකින් විදුලිසැර වැදී මියයන පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

(කොළඹ, ලංකාපුවත්) –විදුලිබල මණ්ඩලයේ විදුලි පද්ධතියේ ඇති වන දෝශයන් සහ දුර්වලතාවයන් හේතුවෙන් සිදුවන පුද්ගල මරණයක දී රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් පිරිනැමීමට හැකිවන පරිදි රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රක්ෂණ සංස්ථාව සමඟ සිදුකළ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.

එමෙන්ම ක්ෂණික විදුලි බිඳවැටීම් වැනි හේතූන් නිසා ගෘහ විදුලි උපකරණ වලට සිදුවන අලාභයන් පූරණය කිරීම සඳහා ද මෙම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කළ බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පාර්ලිමේන්තුවේ දී පැවති විදුලිබල අමාත්‍යාංශයේ සහ පුනර්ජණනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

නඩත්තු කටයුත සඳහා විදුලිය විසන්ධි කිරීමේ දී එය සතියකට පෙර අදාළ පාරිභෝගිකයන් වෙත දැනුම්දීම සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදේශක කාරක සභාවේදී දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතන වලට අයත් ප්‍රදේශ වලට වීදි පහන් සැපයීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් එසේ සැපයෙන වීදි පහන් වලට අදාළ ප්‍රමිතියක් ඇති කිරීමටත් කාරක සභාවේදී තිරණය විය. විදුලිබල මණ්ඩලය විසින් වීදි පහන් වෙනුවෙන් වසරකට රුපියල් බිලියන දෙකක මුදලක් වැය කරනු ලබයි. විදුලි බලයෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමට නොහැකි ප්‍රදේශ වලට සූර්ය බලයෙන් ක්‍රියාකරන වීදි පහන් සවි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී කාරක සභාවේ අවධානය යොමු විය.

අකුණු සක්‍රීය ප්‍රදේශවල අකුණු හේතුවෙන් විශාල වශයෙන් දේපළ විනාශයට පත්වීම සම්බන්ධයෙන් කාරක සභාවේ අවධානය යොමුවූ අතර ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සමගද සාකච්ඡා කොට මේ සම්බන්ධව විසඳුමක් ලබා ගැනීමට මෙහිදී තීරණය විය.

රට තුළ සූර්ය ජනන බල කට්ටල (Solar Panel) සවි කිරීමේ දී විධිමත් ක්‍රමවේදයක් සහ පාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොවන ක්‍රියාවලියක් ඇති කළ යුතු බවටද මෙහි දී අවධානය යොමු විය. මේ සඳහා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය මඟින් නියාමන ක්‍රියාවලියක් ආරම්භ කරන බව පුනර්ජණනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා සූර්ය ජනන බල කට්ටල ලබාදීම සඳහා ඉන්දීයානු ණය යොජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 100ක් ලැබීමට නියමිත බවත් ඒ මහතා අවධාරණය කළේය. එමගින් රාජ්‍ය ආයතන වල විදුලිබිල් සඳහා වැයවන විශාල මුදල ක්‍රමයෙන් අඩු කර ගැනීම මෙහි අරමුණයි. මේ සමගම ආණ්ඩුවේ ආයතන වල වහලවල් සූර්ය ජනන බල කට්ටල සවි කිරීම සඳහා කුළියට ලබාදීම මගින් ආදායම් ඉපයීමේ වැඩපිළිවෙලක්ද යොජනා කොට තිබේ.

මෙම අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සාරතී දුෂමන්ත, බී.වයි.ජී.රත්නසේකර, සමන්ප්‍රිය හේරත් චාර්ල්ස් නිර්මලනාදන් සහ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, පුනර්ජණනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *