2025 වන විට විදුලි ඉල්ලුම සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය සියලු පියවර

(කොළඹ, ලංකාපුවත්) – වසර 2025 වන විට මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් සම්පූර්ණ කිරීම සදහා විදුලි ජනනය ඉහළ නැංවීමට විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රැසක් ඉදිරි කාලසීමාවේ ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (01) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

මේ අනුව මෙගා වොට් 300 ක ධාරිතාවයකින් යුතු ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාරයක් කෙළවරපිටියේදී ඉදිකරන බවත් එහි වැඩකටයුතු ලබන මාසයේ පළමු දෙසතිය තුළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද මෙගා වොට් 300 ක ධාරිතාවයෙන් යුතු කෙළවරපිටිය – 2 බලාගාරය සදහා ඉඩම් අත්පත් කර ගැනීම සහ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ කටයුතු 2021 මුල් මාස 06 තුළ සිදුකරන බවත් ඉන්ධන සැපයුම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් අනතුරුව 2024 වන විට මෙහි වානිජ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

කොළඹ ආශ්‍රිත මෙගාවොට් 650 ක ධාරිතාවයකින් යුතු තාප බලාගාර, ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාර බවට පත්කිරීම සිදුකරන බවත් මේ යටතේ කැළණිතිස්ස, කෙළවරපිටිය,සපුගස්කන්ද යන බලාගාර ඩීසල් සහ නැප්තාවලින් ක්‍රියාකරන ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාර බවට පත්වන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

චාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කළේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වන විට ගිගාවොට් පැය 22500ක විදුලි ජනනයක් සිදුකළ යුතු බව පුරෝකථනය කර ඇති බවත් 2013 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට ප්‍රධාන බලාගාරයක් එක්වී නැතිබවත් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.එබැවින් තාප බලාගාර ,ද්‍රවීකෘත ස්වභාවික වායු ( LNG )බලාගාර ප්‍රමුඛව මෙම ඉල්ලුම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

තවද ශ්‍රි ලංකාවේ පළමු සුළං බල උද්‍යානය දෙසැම්බර් 08 වන දින ගරු අග්‍රාමාත්‍යතුමා විසින් මන්නාරමේදී විවෘත කිරීමට නියමිත බවත් මෙම පුදේශය තුළ මෙගා වොට් 300- 400 ක පමණ විදුලි ධාරිතාවක් සදහා විභවය පවතින බවත් වැඩිදුරටත් සදහන් කළේය.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හතරවන අදියර ආරම්භ කිරීම සදහා පසුගිය පෙබරවාරි මාසයේ කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුතු මෙහි වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතය.

තවද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලබන පෙබරවාරි වන විට මෙගා වොට් 120ක් ජාතික විදුලි බල පද්ධතියට එක්වේ.එසේම ලක්ෂපාන ව්‍යාපෘති පද්ධතියේ අවසාන ව්‍යාපෘතිය වන බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරයේ වැඩකටයුතු 90%ක් අවසන්ව ඇති බවත් ඉදිරි වසරේ මුල් මාස 06 තුළ මෙය විවෘත වන බවත් අලහප්පෙරුම මහතා පැවසීය.

මීට අමතරව ඉන්දීය රජය විසින් ලබා දෙන ස්කන්ධ ණය මූල්‍ය ව්‍යාපෘතිය යටතේ ග්‍රාමිය ප්‍රදේශවල වහල මත ඉදි කෙරෙන සූර්ය කෝෂ පැනල ව්‍යාපෘතියක්ද ජලාශ මත පාවෙන සූර්ය බල පැනල නියමු ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කෙරේ.

මේ අතර පෙර වර්ෂවලදී දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන් ගිගාවොට් පැය 45ක් වුවද මේවන විට ඇතිවී ඇති කොවිඩ් තත්ත්වය නිසා 2020 වර්ෂයේදී සාමාන්‍ය දෛනික විදුලි පිරිභෝජනය ගිගාවොට් පැය 40 පමණ දක්වා අඩු වී ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *