බ්‍රෝඩ්ලන්ඩ්ස් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම කඩිනම් කරන්න උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – ලංකාවේ ඉදිවන අවසන් විශාලතම ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස්, ඉදිරි මාස කිහිපය තුළ ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

බලාගාරයේ වර්තමාන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සදහා පසුගිය දිනක බලාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමින් විදුලබල අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

ඉදිවන බලාගාරයෙහි ධාරිතාවය මෙගාවොට් 35ක් වන අතර එමඟින් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක් (බලශක්ති ඒකක මිලියන 126 ක්) නිශ්පාදනය කළ හැකි වේ. එම නිපදවන විදුලිය බලාගාරය අසල ඉදිවන වහරු අංගනයේ සිට දහස් වෝල්ත 132 (132kV) දිග ද්විත්ව රැහැන් මාර්ගයක් මඟින් මීටර් 200 ක පමණ දුරින් පිහිටි පොල්පිටිය – මාලිබොඩ සම්ප්‍රේශණ රැහැන් මාර්ගය හා සම්බන්ධ කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතිය හා සම්බන්ධ වනු ඇත.

කැළණි ගඟ ආශ්‍රිතව පොල්පිටිය, කිතුල්ගල ප්‍රදේශයේ ඉදිවන ලක්ෂපාන සංකීර්ණයේ අවසාන ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ජලවිදුලි බලාගාරයෙහි ඉදිකිරීම් කටයුතු 2013 වසරේ ආරම්භ කෙරුණ අතර මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතී.

මෙහි ප්‍රධාන වේල්ල පොල්පිටිය සමනල බලාගාරයට පහළින් මස්කෙළි ඔය හරස්කර ඉදිවන අතර කෙහෙල්ගමු ඔය හරස්කර ඉදිකරන කුඩා වේල්ලක් මඟින් එහි ජලයද 800m දිග උමගක් තුළින් ප්‍රධාන ජලාශය වෙත යොමුකරනු ලැබේ. මස්කෙළිය ඔය හරස් කොට ඉදිවන ප්‍රධාන ජලාශයේ ජලය කි. මි. 3.3ක පමණ දිගින් යුත් උමං මාර්ගයක් මඟින් කිතුල්ගල කලුකොහුතැන්න ප්‍රදේශයේ ඉදිවන ජලවිදුලි බලාගාරය වෙත ගෙන යන අතර විදුලිය නිපදවීමෙන් පසු එම ජලය නැවත කැළණි ගඟ වෙත මුදාහරිනු ලැබේ.

ව්‍යාපෘතියෙහි සම්පූර්ණ ඇස්තමේන්තු ගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 82 ක් වේ. මේ සඳහා චීනයේ කර්මාන්ත හා වාණිජ බැංකුව (ICBC) මඟින් 85% ක් හා ශ්‍රී ලංකාවේ හැටන් නැෂනල් බැංකුව (HNB) මඟින් 15% ක මුදලක්ද වාණිජ ණය වශයෙන් ලබාදෙන ලදී.

මෙහි ඉදිකිරීම් කටයුතු චීන රජයට අයත් සමාගමක් වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් සමාගම (CNEEC) මඟින් සිදුකරන අතර එහි උපදේශන හා අධීක්ෂණ කටයුතු කිසිදු විදේශීය සහභාගීත්වයකින් තොරව ශ්‍රී ලංකාවේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය (CECB) මඟින් සිදුකරනු ලැබේ. මේ වන විට මෙහි සමස්ත ඉදිකිරීම් කටයුතු වලින් 76% ක පමණ ප්‍රමාණයක් අවසන් කර ඇති අතර, 2021 වර්ෂයේ ජනවාරි මස වන විට ඉදිකිරීම් කටයුතු සියල්ල අවසන් කර විදුලිය උත්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා සැලසුම් කර ඇත.

ව්‍යාපෘතියෙහි ප්‍රධාන වේල්ල ඉදිකිරීම සඳහා වැඩබිම හා අවට පදිංචිව සිටි පවුල් 47 ක් පමණ පළමු අදියර යටතේ වන්දි ලබාදී ඉවත් කර එම ඉඩම් පවරා ගැනීම සිදුකළ අතර, පසුව දෙවන අදියර යටතේ නැවතත් නිවාස හා කුඩා ව්‍යාපාරික ස්ථාන 39 ක් පමණ වන්දි ලබාදී ඉවත් කිරීම සිදුකරන ලදී.

මෙම බලාගාරය ඉදිකිරීම මඟින් පරිසරයට වාර්ෂිකව නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් (Co2) වායු මෙට්‍රික් ටොන් 88,000 ප්‍රමානයක් වළක්වාගත හැකි වන අතර එය ජාත්‍යන්තර කියෝටෝ සම්මුතිය යටතේ (Kyoto Protocol) පිහිටුවා ඇති පිවිතුරු සංවර්ධන යාන්ත්‍රණය (Clean Development Mechanism) හා බැඳුනු ලංකාවේ ප්‍රථම මහා පරිමාන ජලවිදුලි ව්‍යාපෘතිය ‍වේ. මේ මඟින් විදුලිය උත්පාදනය කිරීමේදී ඒ යටතේ හිමිවන ප්‍රතිලාභය මඟින් ව්‍යාපෘතියට වැය වූ මුදලින් 10% – 15 % ක පමණ ප්‍රමාණයක් නැවත ලබාගැනිමට හැකි වීම මෙහි විශේෂත්වය වේ.

ව්‍යාපෘතියෙහි බලාගාරය ඉදිවන කලුකොහුතැන්න ප්‍රදේශයේ කැලණි ගඟ හරහා ඉදිවන නව පාලම අතීතයෙහි මෙම ස්ථානය අසල තිරගත කරන ලද සුප්‍රසිද්ධ විදෙස් චිත්‍රපටයක් වන “බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” නමැති චිත්‍රපටයෙහි ඇති පාලමෙහි අනුරුවක් ලෙස ම ඉදිකිරිමටද සැලසුම් කර ඇත. එසේම ව්‍යාපෘතිය අවසන් වූ පසු බලශක්ති කෞතුකාගාරයක් ඇතුළුව බලශක්ති උද්‍යානයක් (Energy Park) ඉදිකිරිමට සැලසුම් කර ඇති බැවින් මෙමඟින් ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණයද වැඩි දියුණූ වේ යැයි බලාපොරොත්තු වේ.

දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුම හමුවේ, ජල විදුලි උත්පාදනය ප්‍රමාණවත් නොවන අතරම විදුලි උත්පාදනය වෙනුවෙන් යොදාගත හැකි ජල මූලාශ්‍රයන් සියල්ල මේ වනවිට ඒ සදහා යොදාගෙන ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ අවසන් විශාලතම ජලවිදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ්ස් ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක්විම සුවිශේෂී මෙන්ම ඉන් ලැබෙන දායකත්වයද විදුලිබල ක්ෂේත්‍රය අර්බුදයකින් තොරව පවත්වාගෙන යාම වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන බවත් වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *