අධ්‍යාපනය නංවන්න කෝටි 7,200ක ආධාරයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 7,200ක (අමෙරිකානු ඩොලර් මිලියන 400) මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

වෙනස් වන ගෝලීය ආර්ථිකය සමඟ තරග කළ හැකි නිපුණතාවෙන් සන්නද්ධ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට සහායවීම සඳහා මේ ආධාරය ලබාදීමට පියවර ගෙන තිබෙන අතර, විශේෂයෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම මෙහි අරමුණ බව ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

දැනුම පදනම් වූ ආර්ථිකයක් උදෙසා මෙරට යොවුන් පරපුර කුසලතාවන්ගෙන් පරිපූර්ණ කිරීමට මේ මූල්‍යාධාරයෙන් පිටුවහලක් වන අතර, උසස් දැනුම සහිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂා කරන බවද ඒ වෙනුවෙන් අධ්‍යාපනය හා පුහුණු ශ්‍රමය ඉලක්කය වී තිබෙන බවද ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය සමාජ අංශ විශේෂඥ උස්මා හෝක් මහත්මිය ප්‍රකාශ කළාය. ඉහළ ද්විතියික අධ්‍යාපනය පිළිබඳ 2020 – 2025 වැඩි දියුණු කිරීමේ වැඩසටහන රජයේ සංවර්ධන සැලැස්මට අයත් වන අතර, මේ වැඩසටහන මඟින් වාර්ෂිකව සිසුන් 953,000 කට පමණ ප්‍රතිලාභ හිමි වන බවද එම සිසුනට ප්‍රයෝජනවත් කුසලතා වැඩි දියුණු කර ගැනීමේ අවස්ථාව සැලසෙන බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *