‘වැඩ සමග යළි ගමට ’ ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට

(කොළඹ, ලංකාපුවත්) –මෙරට ග්‍රාමීය මූලයන් හි පවතින සැබෑ අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනාගත් ‘වැඩ සමග ගමට’ නව ව්‍යාපෘතිය ලබන 14 වැනිදා සිට දියත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද ( 07) පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ මුලසුන හොබවමින් එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ එම ව්‍යාපෘතිය මඟින් ‍ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශයන්හි ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගනිමින් අදාළ ව්‍යාපෘතිය දියත් කිරීමට දේශපාලන අධිකාරිය කටයුතු කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වූයේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් 72%ක් වූ ග්‍රාමීය සහ අර්ධ නාගරිකයන්ගේ ජීවන මට්ටමේ සාධනීය වෙනසක් ඇති කිරීමට නම් නිලධාරිවාදයට නොව ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයන් ට මුල් තැන දිය යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ යෝජනාවට ප්‍රතිචාර වශයෙනි .

මුදල් අමාත්‍යංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර්. ආටිගල මහතා මෙහිදී අදාළ ස්ථාන සම්බන්ධව අනිවාර්යයෙන්ම රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බව කියා සිටියේය. මේ අනුව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ෂෙහාන් සේමසිංහ මහතාගේ ද සහයෝගය සහිතව ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා එකඟ විය.

අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එහිදී මතු කර සිටියේ , පවතින තත්ත්වය අනුව මෙරට සංචාරක කර්මාන්තය අසීරුතාවන්ට මුහුණ පා සිටින බැවින් හැකි ඉක්මනින් ඊට මුදල් අමාත්‍යාංශයේ සහයෝගය ලබාදිය යුතු බවයි. මේ සම්බන්ධව මූදල් අමාත්‍යංශ‍ය ගත් පියවර රැසක් සභාවට ලේකම්වරයා විසින් පැහැදිලි කරනු ලැබීය.

ඒ අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, විශ්‍රාම වැටුප් විෂමතා සම්බන්ධයෙන් සහ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් සභාවට පෙන්වා දුන්නේය .ඊට පිළිතුරු දුන් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණ සඳහා අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගේ සහ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහයෝගයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ ප්‍රශ්නය කඩිනමින් විසඳීමට නියමිත බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මතු කළ විශ්‍රාම වැටුප් විෂමතාවයන් පිළිබඳව ගැටලුවට විස්තරාත්මකව පිළිතුරු දුන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා කියා සිටියේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට පමණක් රජය වියදම් කරන මුදල රු. ට්‍රිලියන 1.1 ක් වන බවයි . අයවැය යෝජනාවලිය අනුව උපාධිධාරීන් 50,000ක් රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගැනීම ට නියමිත අතර, අඩු ආදායම්ලාභී පවුල්වලින් ද රුපියල් 35,000 වැටුප් ලබන තරුණ තරුණියන් 100,000ක් බදවාගැනීම ද සිදුවන බැවින් ඔවුන්ගේ වැටුප් ද මීට එකතු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී ,මෙය ඕනෑම රජයක් විසින් ඉතා අසීරුවෙන් මූල්‍ය කළමනාකරණය කරන අවස්ථාවක් බව සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් ඒ කටයුත්ත ඉතා මැනවින් ඉටු කරගෙන යන බව සභාවට දැනුම් දුන්නේය.

අද පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට, සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු මෙන්ම අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද ,මන්ත්‍රීවරු වන ජගත් කුමාර ,මහාචාර්ය රංජිත් බණ්ඩාර ,ගුණපාල රත්නසේකර ,එස්.වියලේන්ද්‍රන් ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩබ්.ඩී.වීරසිංහ සහ මොහොමඩ් මුසාමිල් යන මහත්වරු ද සහභාගීව සිටියහ.

ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් ,මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාරික ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *