සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ඇමති නාමල්ගේ ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල මේ මස 11වනදා ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැති අතර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා ලෙස අශෝක ගුණතිලක මහතාත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය ලෙස ආචාර්ය සමන්තා නානායක්කාර මහත්මියගේ ව්‍යවහාරික ක්‍රීඩා මනෝ විද්‍යාව කෘතියත් වසරේ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය සඳහා භාතිය අර්ථනායක මහතාගේ ද මයින්ඩ් කෘතියත් සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙවන් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් මෙරට පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර 2019 වසරට අදාළව සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් වෙත පිරිනැමීම ද විශේෂත්වයක් විය. සිංහල ක්‍රිකට් විස්තර විචාරකයින් ලෙස කටයුතු කරමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මොවුන් දෙදෙනාට මෙම රන් සම්මාන පිරිනමනු ලැබීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ මළල ක්‍රීඩිකාවක වන සුසන්තිකා ජයසිංහ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2000 වසරේ පැවැති සිඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමීය. තවද සුසන්තිකාගේ එම ඔලිම්පික් ජයග්‍රහණයට විසි වසරක් සමරමින් මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීම ද විශේෂත්වයකි. මෙරට ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමූ මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී 2019 වසරට අදාළව,

වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යය සම්මානය – ThePapare.com
(කුසලතා සහතික – Batsman.lk, Ceylonathletics.com )

වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනී මාධ්‍යය – Newsfirst
(කුසලතා සහතික – ජාතික රූපවාහිනිය, හිරු)

වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය – ලක්හඬ
(කුසලතා සහතික – වෙළඳ සේවය, නෙත් )

වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත – අරුණ
(කුසලතා සහතික – අද, මව්බිම)

වසරේ ක්‍රීඩා සාහිත්‍ය සතිඅන්ත පුවත්පත – රාවය
(කුසලතා සහතික – දිවයින, ලංකාදීප)

ලෙසින් ද සම්මානට පාත්‍ර විය. වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතියට හිමි කුසලතා සහතිකය දිනා ගත්තේ මංජුල ලන්දේකුඹුර රචනා කළ අට්ටාලය කෘතියයි. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියාට හිමි කුසලතා සහතිකයෙන් සරත් ජයසිංහ සහ ලලිත් ගුණවර්ධන පිදුම් ලැබීය. සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සභාව අමතමින් පැවසුවේ,

“ගමේ පිට්ටනිවල ක්‍රීඩා කරන ක්‍රීඩකයාගේ සිට ජාත්‍යන්තර තලය දක්වා යන ක්‍රීඩකයින් දක්වා අපි සැලැස්මක් හදලා තියෙනවා. හැබැයි ඒ සැලැස්ම හදන කොට පහුගිය ඉතිහාසයේ අපට අමතක වුණු තැනක් තියෙනවා, ඒ තමයි ක්‍රීඩා සාහිත්‍යය විෂය. අපේ රටේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයා ගැන තිබෙන පොත්පත් ප්‍රමාණය හිඟ වීම අපට තියෙන අඩුපාඩුවක්. කුඩා කාලයේ දී ආඩම්බරයෙන් සාහිත්‍ය ගැන ඉගෙන ගත්තත් නූතනත්වයට එන කොට සාහිත්‍ය අමතක කිරීමෙන් මේ වන විට විශාල අභියෝගයන්ට අප මුහුණ දීලා තිබෙනවා. අපි විශ්වාස කරන දෙයක් තමයි ක්‍රීඩකයා සහ ක්‍රීඩාව ගැන තව තවත් ලියැවෙන්න ඕන. ක්‍රීඩකයෝ ගැන ලියැවෙනවා නම්, ඔවුන්ගේ ජයග්‍රහණයේ තිබෙන රහස ගැන ලියැවෙනවා නම් බොහෝ දේවල් අනාගත පරපුර වෙනුවෙන් අපට ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා කැපවන කැපවුණු සාහිත්‍යවේදීන් මාධ්‍යවේදීන් ඇගයීම ඉතාමත් කාලෝචිතයි. ඒ වගේම විය යුතු කාරණයක් ලෙස අපි දකිනවා. මොකද වර්තමානයේ ක්‍රීඩාවේ සිදුවන දේවල් අනාගතයේ දුවා දරුවන්ට කියවන්නට ඉතිරි කරන්නේ ඔබ සියලු දෙනායි. අවසන් වශයෙන් සම්මාන උළෙලේ ඇගයීමට පත් සියලු දෙනාට මම සුබ පතනවා, ආශීර්වාද කරනවා….“

යනුවෙනි. කොරෝනා වසංගතය හමුවේ සෞඛ්‍ය අංශ විසින් පනවා තිබුණු මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කර තිබුණු මෙම සම්මාන උළෙල ලබන වසරේදී සම්මාන උළෙලකට පමණක් සීමා නොවී ක්‍රීඩා සාහිත්‍යවේදීන් වෙනුවෙන් වැඩමුළුවක් සමඟ පැවැත්වීමට අපේක්ෂා කරනවා යැයි ද නාමල් රාජපක්ෂ මහතා සිය කතාව අවසන් කරමින් පවසා සිටියේය. සම්මාන උළෙලේ සන්නාම අනුග්‍රාහක ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ සභාපති රොහාන්දු ප්‍රනාන්දු මහතා,

“ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වීම රටේ අවශ්‍යතාවක්ග මම හිතනවා අපේ රටේ ක්‍රීඩාව දියණු කිරීමට අපට තියෙන මුදල් ප්‍රමාණවත්. ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් බිලියන 1.5ක ප්‍රතිපාදන දීලා තියෙනවා. ඒ මුදල් හරි විදියට හරි තැනට ආයෝජනය කළහොත් ලංකාවේ ක්‍රීඩාවේ දියුණුවට අවශ්‍ය අඩිතාලම තව අවුරුද්දක් යන විට සකසා ගන්න පුළුවන් වේවි. එය අපට කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ ගමනේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම හැම විටම ක්‍රීඩාවට සවියක් වීමට පෙනී සිටිනවා….’’ යනුවෙන් පැවසීය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩකයකු වන ඩන්කන් වයිට් මහතාගේ පිළිරුව අබියස සිට එතුමාගේ නමින් පිහිටි ශ්‍රවණාගාරයක දී සහ ජාතික ක්‍රීඩා නායකයකු මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා බවට පත්වූ පළමු අවස්ථාව සටහන් කරමින් පත්වූ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සබුද්ධි සම්මාන ප්‍රදානය පැවැත්වීම ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් බව සම්මාන උළෙල අවසන් කිරීම නිවේදනය කරමින් සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ මහතා පැවසීය.

“අද ආරාධිත අමුත්තන් ලෙස මෙතැනට පැමිණ සිටින බොහෝ දෙනෙක් එදා ක්‍රීඩාවේ යෙදෙන විට ඔවුන් ගැන ලියපු කතා කරපු පෙන්වපු මාධ්‍යවේදීන් පිරිසක් තමයි අද මේ ඇගයීමට ලක් කළේ. පාසලේ අවුරුදු 11න් පහළ සිටම ක්‍රීඩාවට එන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව රටට හඳුන්වා දෙමින් ජාත්‍යන්තරය දක්වා ඔසවා තබන්නට මාධ්‍යවේදීන් සිදු කරනා මෙහෙවර තවමත් හරි හැටි ඇගයීමකට ලක්වී නැති බව අපගේ විශ්වාසයයි. කෙසේ වෙතත් ලැබුණේ සම්මානය ද, සහතිකය ද කියන කරුණට වඩා ඉදිරි වසරේ සම්මානයක් වෙනුවෙන් විශිෂ්ට කෘතියක්, ගුවන් විදුලි රූපවාහිනී වැඩසටහනක්, වෙබ් අඩවියක නිර්මාණයක් කරන්නේ කෙසේ ද යන සිතුවිල්ල සිතේ දරාගෙන අද මෙම ස්ථානයෙන් පිටවනු ඇතැයි මම විශ්වාස කරනවා….” යනුවෙන් ද ඔහු පැවසීය.

සම්මාන උළෙල සඳහා 96 ලෝක කුසලානය දිනූ ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, ලෝක කැරම් ශූර නිශාන්ත ප්‍රනාන්දු , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් , ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය , ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක , ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු , චාන්ස් ස්පෝර්ට්ස් කළමනාකරණ අධ්‍යක්ෂ ලසන්ත අමරසිංහ , පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර, සබුද්ධි සාහිත්‍ය කවයේ සභාපති තමීර මංජු යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *