ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අග්‍රාමාත්‍යතුමාගේ සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ පළමුවරට සංවිධානය වූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (16) රාත්‍රියේ සුබ පැතුම් එක් කළේය.

භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 53ක ජයක් ලබා ගැනීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වූයේ පසුගිය මස 26 වනදාය. කළම්බු කින්ග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, දඹුල්ල වයිකින්ග්, කැන්ඩි ටස්කර්ස් හා ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් මෙවර තරගාවලිය සඳහා එක්විය.

මූලික වටයේ තරග 20 ක් හා අර්ධ අවසන් පූර්ව වටයේ තරග 2 කින් යුතුව සංවිධානය වූ මෙවර තරගාවලියට එක්වූ සියලුම දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ කොව්ඩ්-19 අර්බුධ හමුවේ ඉතාමත් සාර්ථක අයුරින් තරගාවලිය සංවිධානය කළ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, අමාත්‍යංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ට අග්‍රාමාත්‍යතුමා සුබ පැතුම් එක් කළේය.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ වීරයා ලෙස ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංග සම්මාන දිනාගත් අතර අවසන් මහා තරගයේ වීරයා වූයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ෂොයිබ් මලික්ය.

ක්‍රීඩකයන් දිරිගන්වමින් අවසන් මහා තරගය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *