ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සර සඟරාව අගමැතිට පිළිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ ජාතියේ සන්නිවේදකයා සඟරාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ(16) විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පිළිගැන්වීය.

මෙරට ගුවන් විදුලි සේවාව ආරම්භ වී අදට වසර 95 ක් සපිරෙයි. ජාතියේ සන්නිවේදකයා ලෙස ගුවන් විදුලිය මේ දක්වා ජනතාවට අනුපමය සේවාවක් ඉටුකර තිබේ. දශක කිහිපයක්ම ලාංකේය මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නිවේදකයා වූයේ ජාතික ගුවන් විදුලියයි.

95 වසරක් සමරන ජාතික ගුවන් විදුලිය වාණිජ බලවේගවලට නතු නොවි ස්වකීය ජාතික මෙහෙවර ඉටු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභාශිංසන පළ කරමින් ප්‍රකාශ කළේය. ඒ නිසා 95 වසරක් පුරා ජාතික ගුවන් විදුලිය කළ ජාතික මෙහෙවර මෙරට ජනතාව අමතක නොකරනු ඇතැයි ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

95 වැනි සංවත්සරයට සමගාමීව නිකුත් කළ යුග යුග නියෝජනය වන ගීත 95 ක් ඇතුළත් ගීත ඇල්බමය හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ඕකිඩ් අංශය ගුවන් විදුලියේ 95 වන සංවත්සරය වෙනුවෙන් හඳුන්වා දුන් ඩෙන්රෝබියම් රේඩියේ සිලෝන් ( Dendrobium Radio Ceylon ) නමැති දෙමුහුන් ඕකිඩ් පුෂ්පය ද මෙහිදී අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වූයේය.

1925 දෙසැම්බර් 16 වැනිදා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මුලිකත්වයෙන් මෙරට ගුවන් විදුලි සේවාව නිල වශයෙන් ඇරඹුණි. ආරම්භයේදී එය පැවතුනේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේය. 1949 ඔක්තෝබර් පළමුවැනිදා ගුවන් විදුලි සේවය රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කෙරුණි. ජෝන් ඒ ලැම්සන් මහතා එහි ප්‍රථම අධ්‍යක්ෂවරයායි. 1967 ජනවාරි 5 වැනිදා ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යළි ප්‍රතිෂ්ඨාපනය විය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ශ්‍රීි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *