ජාතික යොවුන් සේනාංකයට වසර 18ක්

(කොළඹ, ලංකාපුවත්) –තරුණ පරපුර රටක ජීවනාලිය බඳුය. රටක වගකීම භාර ගැනීමට සිටින තරුණ පරම්පරාව අයාලේ ගියහොත් සිදුවන විපත අමුතුවෙන් කිවයුතු නැත. තරුණයා යනු සිල්ගත් අහිංසක පුරවැසියෙක් යැයි අර්ථකථනය කළ නොහැක. ජවසම්පන්න, එඩිතර තාරුණ්‍ය රටට සම්පතකි. අලුත් දේ සොයන, අලුත් දේ තනන විචක්ෂණශීලී බුද්ධියකින් කටයුතු කරන තරුණ පරම්පරාවක් රටකට සිටී නම් එය රටේ වාසනාවකි. නමුත් අද වන විට අප රටේ තාරුණ්‍යයෙන් රටට නිසි වැඩක් ගන්නවාද, ඔවුන් ඵලදායී ලෙස රටේ ඉදිරි ගමනට දායක කරගන්නවාද යන ප්‍රශ්නය අප හමුවේ ඉතිරිව ඇත.

කෙසේ වෙතත් ජාතිය නැවත ගොඩනැඟීමේ නව අභියෝගයට උරදිය හැකි නායකත්ව ගුණාංගයෙන් සහ ශක්තිමත් පෞරුෂයකින් හෙබි නිපුණතා පිරිපුන් තාරුණ්‍යයට මංපෙත් විවර කිරීම අත්‍යවශ්‍ය වූ වකවානුවක 2002 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ව්‍යාපෘතියක් වශයෙන් ස්ථාපිත කොට, 2003 ඔක්තෝම්බර් මස 10 වන දින අංක 1309/17 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලෙස ‘අංක 01-2003 දරණ යොවුන් බලකා නියෝග’ මඟින් යොවුන් සේනාංකය ක්‍රියාත්මක කරනු ලැබීය. එලෙස ක්‍රියාවට නැංවුණු ජාතික යොවුන් සේනාංකය රාජ්‍ය ආයතනයක් ලෙස 2002 වසරේ දෙසැම්බර් 17 වන දින, ටී.බී. ජයාමාවතේ (වත්මනේ) මහවැලි ගොඩනැඟිල්ලේ දී, කර්නල් චන්න ගුණතිලකගේ සභාපතීත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. පුහුණුවන යෞවන යෞවනියන් ‘රේන්ජර් නායකයින්’ යන නාමයෙන් හඳුන්වමින් පළමු පාඨමාලාව ඇඹිලිපිටිය, එරමිණියාය, හෙයියන්තුඩුව හා රන්ටැඹේ යන රේන්ජර් නායක පුහුණු මධ්‍යස්ථාන 04කින් ආරම්භ කරන ලදී. දෙවන පාඨමාලාවේ සිට පුහුණු යෞවන යෞවනියන් ‘රේන්ජර්වරුන්’ ලෙස හඳුන්වමින් අද වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58ක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ආරම්භයේ දී රේන්ජර් නායකයින් ලෙස බඳවා ගන්නා ලද 100ක පමණ ප්‍රමාණයක් වර්තමානය වන විට දිවයින පුරා විසිරී ඇති පුහුණු මධ්‍යස්ථානයන් හි විනය සරඹ උපදේශකවරුන් ලෙස කටයුතු කරමින් සිටී.

විනය, නායකත්වය, පෞරුෂ සංවර්ධනය යන ත්‍රිවිධ තේමාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන්නා වූ ජාතික යොවුන් සේනාංකය අනෙක් සියලු යෞවන පුහුණු බලගැන්වීම් අභිබවමින්, අභියෝගයන්ට ද අභියෝග කරන්නට පෞරුෂයෙන් හෙබි ශක්තිමත් යොවුන් බලකායක් ගොඩනැඟීම සඳහා පැහැදිලි වූත්, විධිමත් වූත් විවිධ පැතිකඩ හරහා ක්‍රියාත්මක වෙමින් පවතී. ඕනෑම කෙනෙකු තම ජීවිතයේ තම අනන්‍යතාවය ගොඩනැඟීමේ ක්‍රියාදාමය තුළින් කණ්ඩායම් හා උප සංස්කෘතීන් බිහිකර ගනී. යෞවනයන් තුළ අනාගතය පිළිබඳ උදාසීනගතියක් ඇති කරගන්නා බව සමාජ මානව විද්‍යාඥයින්ගේ මතය බවට පත්විය.

තාරුණ්‍යය තුළ තිබිය හැකි මෙම මන්දෝත්සාහී ගතානුගතික චින්තනය වෙනස් කිරීමටත් ඔවුන් තුළ තිබෙන්නා වූ සහජ හැකියාවන් වර්ධනය කොට සමාජගත කිරීමටත් ජාතික යොවුන් සේනාංකය මඟින් විවිධ ක්‍රියාකාරකම් දියත් කරමින් පවතී. කලබලකාරී බව, බලාපොරොත්තු විරහිත බව, විරැකියාව නිසා ඇතිවන මානසික ආතතිය, ආචාරශීලී නොවීම, සුඛෝපබෝගී ජීවිත ගත කිරීමට ඇති කැමැත්ත තාරුණ්‍යයේ ගති ලක්ෂණයන් ය. නමුදු මේ අදහස් සියල්ල පරයා යන විනයානුකූල බවක් සමාජගත වීමට සූදානම් වන තරුණයා තුළ තිබිය යුතුමය. ජාතික යොවුන් සේනාංකය සතු සුවිශේෂී ඉලක්කය වන්නේ විනයගරුක බව ඇති කිරීමයි. උසස් පුරවැසි ගුණාංග ප්‍රගුණ කරවන ජාතික යොවුන් සේනාංකය ජාතික ගීයට, ජාතික කොඩියට පමණක් නොව එදිනෙදා චර්යාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් මෘදු කුසලතා සංවර්ධනය කිරීමේ කටයුතු තම පුහුණු න්‍යාය පත්‍රයට ඇතුළත් කොට ඇත්තේ නිසි සංයමයකින් යුතුව අනාගත භාරකරුවන්ගේ අනන්‍යතාවය පිළිබිඹු කිරීමේ අරමුණෙනි.

දිවයිනේ නන් දෙසින් එක් රොක් වන යෞවන යෞවනියන් බිම් මට්ටමේ සිටම ස්ථාවර, සාඩම්බර දැනුමක් ලබා දී ඔවුන්ගේ අනාගතය අර්ථ සම්පන්න වූ සුබවාදී මාවතකට යොමු කිරීමට ජාතික යොවුන් සේනාංක ජාලයේ 800කට නොඅඩු සුදුසුකම්ලත් උපදේශක කාර්යමණ්ඩලය නිරන්තරයෙන් ඇපකැප වී ක්‍රියාකරමින් සිටී. විධිමත් විෂය නිර්දේශයන් අනුව සකස් කෙරෙමින් න්‍යයායික හා ප්‍රායෝගිකව නිර්මාණාත්මක ලෙස සිදුකෙරෙන පුහුණු කටයුතු වඩාත් පුළුල් කරමින් පුහුණු මධ්‍යස්ථාන 58ට අමතරව, දඹුල්ල හෝටල් පුහුණු පාසල, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ ආයතනය (IBPO) හා නාවුල බැහැරගත පුහුණු මධ්‍යස්ථානය යෞවන යෞවනියන් සඳහා ස්ථාපනය කොට ඇත. මෙම සියලු පුහුණු පාඨමාලා නොමිලේ හදාරන්නට අවස්ථාව ලැබෙන අතරම, පුහුණුවෙන් පසු තෝරා ගන්නා ලද පුහුණුලාභීන් පිරිසක් වෙත තමන් විසින් තෝරා ගනු ලබන වෘත්තීය පුහුණුවක් සඳහා යොමු වීමට ශිෂ්‍යත්වයක්, පුහුණුව අතරතුරම භාෂා දැනුම වර්ධනය වැනි සුවිශේෂී වරප්‍රසාද රැසක් හිමිවෙනු ඇත.

රටේ අනාගතය හා ගාමක බලවේගය වන්නේ තාරුණ්‍ය බවත්, රට වෙනස් කිරීමට වැඩි හැකියාවක් ඇත්තේ තාරුණ්‍යයට බවත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම වී ඇත. අමාත්‍යංශ ගණනාවක් යටතේ පෙරට ආ ජාතික යොවුන් සේනාංකය වර්තමානයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වය පෙරදැරිව ක්‍රියාත්මක වෙයි. තාරුණ්‍ය ජවසම්පන්නව හා කාලීනව උද්දීපනය කිරීම අදට වඩා හෙටට අර්ථ ගන්වනු වස්, සිය මෙහෙවර නව්‍යතාවයෙන් දියත් කරන වත්මන් සභාපති කර්නල් දර්ශන රත්නායක මහතාගේ දූරදර්ශී මඟපෙන්වීම මත සියලු කාර්ය මණ්ඩලය යෞවන යෞවනියන් පෞරුෂයෙන්, විනයෙන්, නායකත්වයෙන් හා කුසලතාවයෙන් බලගැන්වීම සඳහා භාරදූර කාර්යයක් ඉටුකරමින් සිටී.

අහිමි වූ බොහෝ දෑ ප්‍රතිජීවනය කොට රට සංවර්ධනය කරා ගමන් කරන ජාතික මෙහෙවරෙහි මුල් තැන ගනිමින් ක්‍රියාත්මක වන ජාතික යොවුන් සේනාංක බලඇණිය යොවුන් සේනාංක ඉදිරි ගමනෙහි තිරසර බව රැකගැනීම උදෙසා ඇප කැප වී ක්‍රියාකරමින් සිටින්නේ වර්ෂාවසාන පෞරුෂාභිමාන ඇගයීම් උළෙල, ජාතික කලා උළෙල, ජාතික ක්‍රීඩා උළෙල, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, සිවිල් නීතිය, පරිසර සංරක්ෂණ වැඩසටහන්, ප්‍රජා සංවර්ධන වැඩසටහන්, රචනා, විවාද හා දැනුම් මිනුම තරඟ, බෝ වන රෝග හා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්, සමාජ සවිබල ගැන්වීම් වැඩසටහන් සහ ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් ලෙස ඕකිඩ් මල් වගා ව්‍යාපෘති වැනි අර්ථවත් වැඩසටහන් රැසක් තුළින් ද පුහුණුලාභී යෞවන යෞවනියන් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම ලබා දෙනු ඇත. එමෙන්ම වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා එක්වෙමින් පුනරුත්ථාපනය වූ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සඳහා පෞරුෂ සංවර්ධන පුහුණු වැඩසටහන්, ජාතික වැඩසටහනක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා පුහුණු වැඩසටහන්, ශිෂ්‍යනායක පුහුණු වැඩසටහන් ආදිය සිදු කරනු ලබයි.

ඉලක්ක ස්ථාපනය පමණක් නොව, එම ඉලක්කයන් සාර්ථක අයුරින් ජයගැනීම ද ජාතික යොවුන් සේනාංකය සතු ජයග්‍රහණයකි. තම අභිමුවට පැමිණෙන ඉලක්ක සියල්ල අභියෝගයට ගනිමින් එම අභියෝගයන්ට ප්‍රත්‍යුත්තර ලෙස අභියෝග කරන්නට ද ජාතික යොවුන් සේනාංකය බලගැන්වී ඇත. නවමු හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය කරමින්, විවිධ බාධක ජයගනිමින්, නව මාවත් එළිපෙහෙළි කරමින් ඉදිරියටම යන ජාතික යොවුන් සේනාංකය නුදුරේදීම තාරුණ්‍ය සඳහාම වූ එකම යෞවන පෞරුෂ සංවර්ධන පුහුණු ‘ජාතික ආයතනය’ ලෙස පත්වන විට, තරුණ ඔබට ද එහි සාඩම්බර කොටස්කරුවකු වී සුබවාදී රටක් නිර්මාණය කර අනාගත පරපුරට දායාද කිරීමේ කාර්යයට එක්වන්නට ආරාධනා කරන්නෙමු.

ජාතිය සතු උතුම්ම සම්පත ලෙස ගැනෙන දැයේ දුවා දරුවන්ගේ වගකීම සිය දෙවුර මත තබමින් ජාතිය හමුවේ සිය යුතුකම හා වගකීම නිසි ලෙස ඉටු කරන බවට ප්‍රතිඥා දෙන ජාතික යොවුන් සේනාංකය මෙතෙක් ආ ගමන්මඟ මතකයන් රැසක් සමඟ බැඳී පවතින්නකි. එම ගමන්මඟේ සටහන් තැබූ සියලු දෙනා හට කෘතඥතාවය පළ කරන අතරම, අද දින 18 වැනි වියට පා තබමින් නව යෞවනත්වයට එළඹෙන ජාතික යොවුන් සේනාංකය ජාතියේ මෘදු කුසලතා තක්සලාව බවට පත්වෙමින් මුළු මහත් තාරුණ්‍යයේ ‘මහගෙදර’ බවට පත්වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *