ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය තෙමසක් තුළ දී

(කොළඹ, ලංකාපුවත්) –ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස්කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ඊයේ(18) ගන්නෝරුව උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ දී පළමුවරට රැස්විය. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙනි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීනයන්ගෙන් සැදුම්ලත් කමිටුවට සාමාජිකයන් 13 ක් ඇතුලත්ය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර, සබරගමුව විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය පී.අයි. යාපා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එම්.බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර්. පුන්‍යවර්ධන, ආචාර්ය ඩී.එස්. කුරුප්පු ආරච්චි, ආචාර්ය යසින්තා මාපටුන, රිස්වි සහිඩ් යන විද්වතුන් ඇතුලත් වෙනවා. ගොවි ජනතාව නියෝජනය සඳහා මෙම කමිටුව ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති එස්.එම්.ජී. සමරකෝන් මහතා පත්කොට තිබීම ද විශේෂත්වයකි.

දේශපාලන භේද, වෙනත් බලපෑම් කිසිවක් නොසලකා මාස 03 ක් තුළ ජාතියේ අවශ්‍යතාවයක්ව පවතින ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කර දෙන ලෙස කමිටුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.

තමා 2010 ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි සමයේ ක්‍රීඩාවට ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් බවත්, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත ධනාත්මක වෙනසක් ඒ තුළින් සිදු වූ බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා වසර ගනනක සිට කතාවකට පමණක් වරින් වර සාකච්ඡා වන ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය පොළොවේ යතාර්ථයක් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියේය.

සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වස විෂ නැති ආහාරවලින් ස්වයංපෝෂිත මෙන්ම ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැඟීමේ වැඩපිළිවෙලට ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කොට ආණ්ඩු මාරුවන විට කෘෂිකර්මයේ ප්‍රතිපත්ති මාරු නොවන සේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත් වෙනස් නොවන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට දැඩි උනන්දුවක් හා අවශ්‍යතාවයක් ඇතිබව පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඊට අවශ්‍ය සහාය රජයට ලබාදෙන ලෙස මෙම විද්වත් කමිටුවෙන් ඉල්ලා සිටියේය.

කෘෂි නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම කාලෝචිත අවශ්‍යතාවයක් බව විද්වත් කමිටුව අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා දම්වැල අවබෝධ කර ගනිමින් කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් සකස්විය යුතු බව ද විද්වත් කමිටුවේ අදහසවිය.

කාබනික පොහොර අධිකාරියක් ස්ථාපත කිරීම, බීජ නිෂ්පාදනයෙන් රට සන්නද්ධ කිරීම, බෝග 16 න් රට ස්වයංපෝෂිත කිරීම, කෘෂි තාක්ෂණයෙන් ගොවියා පොහොසත් කිරීම, කෘෂි අපනයන ගම්මාන ඇතුළු ගොවියාට දැනෙන වැඩසටහන් රැසක් දැනටමත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

පොදු අරමුණක් වෙනුවෙන් රටේ ජාතික අවශ්‍යතාවයක් ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය කඩිනමින් සම්මත කිරීම තම එකම අරමුණ බවත් ඊට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම, සහාය ලබාදීමට සූදානම් බවත්, කෘෂිකර්මය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව හමුවේ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *