සංචාරක කර්මාන්තය ගොඩනගන්න ක්‍රමවත් සෞඛ්‍ය මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් 19 තත්වය සමග විවෘතව පවතින රටතුළ සංචාරක ව්‍යාපාරය නැවත පණගැන්වීමට අවශ්‍ය සෞඛ්‍ය වටපිටාව වෙනුවෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සෞඛ්‍ය බලධාරීන්ට ඊයේ(18) උපදෙස් දෙනු ලැබුවාය.

කොවිඩ් 19 හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නැවත ගොඩනැගීම මේ මොහොතේ සිදුකල යුතු කාර්යක් බවත් ඒ හරහා ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදාවන බවත් සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය එය සාර්ථක කරගැනීම සදහා සෞඛ්‍ය අංශවලට මේ මොහොතේදී වැදගත් කාර්ය භාර්යක් පැවරී ඇති බව සිහිපත් කලාය. අමාත්‍යවරිය මේබව සදහන් කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කලේ ලෝකයේ සෙසු රටවල මෙන් සංචාරක හිතකර සෞඛ්‍ය මෙහෙයුමක් සිදුකල යුතු බවත් ඒ සදහා PCR පරීක්ෂණ සිදුකිරීමේදී ගුවන්තොටුපොල තුළ සිදුවන අනවශ්‍ය ප්‍රමාදය වළක්වා ගැනීමට ආසන්නයේ පවතින සංචාරක හෝටල් තුළ අදාල PCR පරීක්ෂණ සිදුකිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන ලෙසයි. ඒ හරහා ගුවන්තොටුපොල තුළ දැනට ක්‍රියාත්මක වන කොවිඩ් පාලන ක්‍රමවේදයන්ට බලපෑමක් නොවන බවත් අනවශ්‍ය තදබදයක් ඇති නොවන බවත් සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය, මේ මොහොතේ රටතුළ සිදුවන කොවිඩ් පාලන කටයුතු සදහා එය අමතර බලපෑමක් නොවන ආකාරයේ උපායමාර්ගික සැලසුමක් සකස්කල යුතු බව සදහන් කරන ලදි.

සියලුදෙනාගේ සෞඛ්‍යාරක්ෂාව ප්‍රමුඛ කොට සංචාරක ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් සකස් කෙරෙන සෞඛ්‍ය මෙහෙයුම සුවිශේෂී එකක් වියයුතු බවත්, ඒ සදහා නිකුත් කිරීමට අවශ්‍ය විශේෂ උපදෙස් මාළාවක් සකස්කරන ලෙසත්, ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස්කරන ලෙසත් සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය ඒ පිළිබදව දැනුවත් කිරීමට ඉදිරියේදී සංචාරක අධිකාරිය, ගුවන්තොටුපොළ සමාගම, සිවිල් ගුවන්සේවා අධිකාරිය, හෝටල් සංගම්, පෞද්ගලික රෝහළ් රසායනාගාර බලධාරීන් ඇතුළු පිරිස සමග සාකච්ඡා කිරීමට සැලසුම්කරන බව සදහන් කරන ලදි.

මෙම සාකච්ඡාව සදහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, රසායනාගාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් ධර්මරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *