ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය අගමැති අතින් විවෘත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිර්මාතෘ ආචාර්ය රෝලන්ඩ් සිල්වා වියතානන්ට උපහාර පිණිස ඉදි කරන ලද දඹුල්ල ආචාර්ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද(20) විවෘත විය.

මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති ප්‍රථම නවීන තාක්ෂණානුකූල බිතුසිතුවම් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය වේ.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වැය කරමින් ඉදි කළ මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පැරණි බිතුසිතුවම් පිටපත් කර සංරක්ෂණය කර ආරක්ෂා කර ගැනීමේ විද්‍යාත්මක පර්යේෂණාගාරයක් ලෙස ස්ථාපිත කර ඇත.
ආචාර්ය රෝලන්ඩ් සිල්වා වියතානන්, ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා වංශකතාවේ නව පිටුවක් පෙරළමින් යුනෙස්කෝවේ මග පෙන්වීමෙන් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිහිටුවීමෙහි ලා පුරෝගාමී මෙහෙවරක යෙදුණු එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නිර්මාතෘවරයා ය.

පුරාවිද්‍යාව සහ වාස්තුවිද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන් හි විශාල දියුණුවක් ඇති වූයේ සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ආරම්භවීමත් සමඟිනි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා ස්මාරක ලෝක උරුමයන් ලෙසින් ලොව පුරා ප්‍රචලිත කිරීම විදේශීය සංචාරක කර්මාන්තයෙහි ප්‍රගමනය හේතුවිය. ඒ ඔස්සේ අරමුදල් රැස් කර ගැනීමේ ක්‍රියාවලිය මඟින් ස්මාරක නඩත්තු සහ උරුම කළමනාකරණයට මහඟු පිටුබලයක් ලැබිණි.

මෙවැනි උදාර සංකල්ප ක්‍රියාවට නැංවූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතාට උපහාර පිණිස රංගිරි දඹුලු රජමහා විහාරයට යාබදව ඉදි කරන ලද මෙම පර්යේෂණ හා සංරක්ෂණ මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලාංකේය බිතුසිතුවම් කලාවේ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට නූතන යුගය දක්වා අදින ලද සිතුවම් පිටපත් කිරීම, සංරක්ෂණය, නඩත්තුව සහ විද්‍යාත්මක ගබඩා කිරීම සිදු වේ.

දෙස් විදෙස් උපන් නූපන් කලාකරුවන්, සංරක්ෂකයින්, පර්යේෂකයින් සහ විද්‍යාඥයින් උදෙසා මෙම මධ්‍යස්ථානය පිහිටුවීම ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.

මෙම මධ්‍යස්ථානය තුළ දේශනාගාර, ශ්‍රවනාගාර පහසුකම්, ඩිජිටල් ලේඛනාගාරයක්, ද්විමාන සහ ත්‍රිමාණ සංරක්ෂණාගාරයක්, හදිසි බිතුසිතුවම් සංරක්ෂණ ප්‍රතිකාර ඒකකයක් සහ පර්යේෂකයින් සඳහා නේවාසික සහ අනෙකුත් පහසුකම් ද ස්ථාපිතය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික පුනරුදය උදෙසා ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රමුඛ දායකත්වයක් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් දරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා රංගිරි දඹුලු රජ මහා විහාරාධිපති උඩුගම මංගල නාහිමි ඇතුලු මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාගවන්, රෝහන කුමාර දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, දඹුල්ල මහ නගරාධිපති ජාලිය ඕපාත, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී අධිකාරී ඇතුලු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + fifteen =