අංගොඩ ලොක්කාගේ මරණය ගැන සොයා බැලීමට ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහාය පතයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවෙන් පලා ගිය සංවිධානාත්මක අපරාධකරුවකු වූ ලසන්ත චන්දන පෙරේරා නොහොත් “අංගොඩ ලොක්කා” ගේ මරණය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් අධිකරණ වෛද්‍ය සාක්‍ෂි ලබා ගැනීමට උදව් ඉල්ලා ඉන්දියාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයෙන් (CB-CID)ලිපියක් යොමු කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා මේ පිළිබඳ වාර්තා කරයි.

“අංගොඩ ලොක්කා” ගේ ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගේ රුධිර සාම්පල සහ ඇඟිලි සලකුණු අගෝස්තු මාසයේදී ලබා ඉන්දියාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවා තිබුණි.

මියගිය පුද්ගලයා “අංගොඩ ලොක්කා” බවට අධිකරණය හමුවේ තහවුරු කළ යුතුය. ඔහුගේ ඩීඑන්ඒ පරීක්‍ෂණ සිදු කිරීම සඳහා එම සාම්පල චෙන්නායි හි අධිකරණ විද්‍යාගාරයට යවා තිබේ. ඔහුගේ දෙමව්පියන්ගේ රුධිර සාම්පල ඩීඑන්ඒ සමඟ ගැලපීමට අවශ්‍ය බවද සදහන්වේ.

අදාළ රුධිර සාම්පල ශ්‍රී ලංකා රජයෙන් ලබා ගැනීමට උදව් ඉල්ලා ඉන්දියාව අගෝස්තු මාසයේදී ලිපියක් යොමු කර ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් එම කටයුතු ප්‍රමාද වී තිබේ. එසේම මෙම කටයුතු ඉතා කඩිනමින් රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ ශ්‍රී ලංකා රජය වෙත යොමු වෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව මෙම සිද්ධිය විමර්ශණය කරනු ලබන ඉන්දීය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සදහන් කර තිබේ.

ජුලි 03වනදා කොයිම්බතූර් හි හදිසි හෘදයාබාධයක් හේතුවෙන් “අංගොඩ ලොක්කා” මියගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen − twelve =