කොමර්ෂල් බැංකුව නව සභාපතිවරයෙක් සහ උප සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) –කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු කනගසභාපති ශ‍්‍රීපවන් මහතා අද(21) සිට පත් කර ඇති බවත් බැංකුවේ නව නියෝජ්‍ය සභාපතිවරයා ලෙසත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා දෙසැම්බර් 29 වනදා සිට පවත්වනු ඇති බව බැංකුව නිවේදනය කරයි.

හිටපු අගවිනිසුරු ශ‍්‍රීපවන් මහතාට පෙර කොමර්ෂල් බැංකුවේ සභාපතිධූරය ධර්ම ධීරසිංහ මහතා හෙබවූ අතර මහාචාර්ය ජයවර්ධන මහතාට පෙර බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේ ප‍්‍රීති ජයවර්ධන මහතායි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුවේ ඔවුන් දැරූ තනතුරුවල කාල සීමාව අවසන් වීමෙන් පසුව ඔවුන් එම තනතුරු වලින් විශ‍්‍රාම ගැනීම හේතුවෙන් මෙම පත්වීම් සිදුකළ බව බැංකුව සඳහන් කරයි.

විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා 2015 වසරේ ජනවාරි මාසයේදී අගවිනිසුරු තනතුරට පත්කළ අතර 2017 මාර්තු මාසය දක්වා එම තනතුර දැරීය. මෙම කාල සීමාව තුළදී ශ‍්‍රීපවන් මහතා ශ‍්‍රී ලංකා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසත්, නීති අධ්‍යාපන සංස්ථාපිත කවුන්සලයේ සභාපතිවරයා ලෙසත්, ශ‍්‍රී ලංකා විනිසුරු ආයතනයේ සභාපතිවරයා ලෙසත්, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරන ලදී.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස 1977 වසරේදී ලියාපදිංචි වී තිබේ. ඔහු විසින් 1992 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලයෙන් කාර්මික නීතිය පිළිබඳව ඩිප්ලෝමාවක් ලබාගෙන තිබෙන අතර 1994 වසරේදී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන ඇත.

විනිසුරු ශ‍්‍රීපවන් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අභියාචනාධිකරණ ඒකකයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ අතර කෙටුම්පත්කරණ සහ මූලික අයිතිවාසිකම් අයදුම්පත් ඇතුළු අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ වැඩ කටයුතු බොහෝ ප‍්‍රමාණයක් කිරීමට ඔහු දායකවී තිබේ. ඔහු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීමට පෙර වසර දෙකක් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නීති උපදේශකවරයා ලෙසින්ද කටයුතු කරන ලදී. 2002 වසරේ මැයි මාසයේදී ඔහු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වන අතර 2007 මැයි මාසයේදී අභියාචනාධිකරණයේ ප‍්‍රධාන විනිසුරු ධූරයට පත්විය. ඉන්පසුව, 2008 මැයි මාසයේදී ශ‍්‍රීපවන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු බවට පත්විය.

කොමර්ෂල් බැංකුවේ නව උප සභාපති ධූරයට පත්වූ මහාචාර්ය ඒ. කේ. ඩබ්ලිව්. ජයවර්ධන මහතා වර්තමානයේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරයි. එසේම, මහාචාර්ය ජයවර්ධන මහතා වසර හයක් මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුළපතිවරයා ලෙසත්, වසර හයක් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙසත්, එක් වසරක් මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අංශයේ විශිෂ්ට මහාචාර්යවරයෙකු ලෙසත් කටයුතු කරන ලදී.

ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙන් ප‍්‍රථම පන්තියේ සාමාර්ථයක් සහිතව සිවිල් ඉංජිනේරු අංශයේ ප‍්‍රථම ගෞරව උපාධිය ලබාගත් අතර එංගලන්තයේ Loughborough University of Technology වෙතින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රය පිළිබඳව පශ්චාත් විද්‍යා උපාධිය ලබාගන්නා ලදී. ඉන්පසුව, ඔහු එම විශ්ව විද්‍යාලයෙන්ම ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ ආචාර්ය උපාධියද ලබාගෙන ඇත.

මහාචාර්ය ජයවර්ධන මහතා ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. ඔහු සියෙරා කේබල්ස් පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂ ධූරයක්ද දරණ අතර තවත් බොහෝ ආයතන ප‍්‍රමාණයක කළමනාකරණ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින්ද කටයුතු කරයි. මහාචාර්ය ජයවර්ධන මහතා ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙහි ආයතනික සාමාජිකයෙකු සහ ජාත්‍යන්තර වෘත්තීය මහාචාර්යවරයෙකු ලෙසින්ද කටයුතු කරයි. මීට අමතරව, ජයවර්ධන මහතා ශ‍්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජිකයෙකු සහ ශ‍්‍රී ලංකා ආකෘතික ඉංජිනේරු සමාජයේ සමාරම්භක සාමාජිකයෙකු ද වේ. එසේම, ඔහු ශ‍්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුන්ගේ ආයතනයේ සාමාජිකයෙකු, ශී‍්‍ර ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි ජීවිත කාලයටම සාමාජිකයෙකු සහ අධ්‍යක්ෂවරුන්ගේ ශ‍්‍රී ලංකා ආයතනයේ සාමාජිකයෙකු ද වේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *