මෙට්‍රික් ටොන් 3,200 ක නව තෙල් ගබඩාවක් ඉදිකිරීම් කටයුතු ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –වරාය හා නාවික අමාත්‍යාංශය යටතේ පවතින ජයබහලුම් පර්යන්ත සමාගම කොළඹ තෙල් බැංකුවෙහි, මෙට්‍රික් ටොන් 3,200 ක නව තෙල් ගබඩාවක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඊයේ (22) කොළඹ තෙල් බැංකු පරිශ්‍රයේ දී වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කරමින් කොළඹ වරායට පැමිණෙන නැව් සඳහා අවශ්‍ය තෙල් ලබා දීම වෙනුවෙන් තෙල් ගබඩා කිරීම සඳහා මෙම ටැංකි ඉදිවෙයි. ජාත්‍යන්තර වෙළදපොලට උරුමකම් කියන මෙම ආයතනයේ නිළ වෙබ් අඩවිය වන www.jctltd.lk වෙබ් අඩවිය විවෘත කිරීම ද අමාත්‍යතුමන්ගේ සුරතින් සිදු කෙරිණ.

අභියෝගාත්මක කොවිඩ් 19 වසංගත තත්වයට මුහුණපෑමත් සමග සංචාරක ව්‍යාපාරය, විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබෙන විදේශ විනිමය වැනි සියලු ක්ෂේත්‍ර අඩපණ වී තිබියදී වරාය පද්ධතියේ ක්‍රියාවලිය අකර්මණ්‍ය වීමට ඉඩ නොතබා ආර්ථිකයේ නව දොරටු විවෘත කිරීමේ තවත් සැලසුමක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකිය.ඉදිරි වසර හතරක කාලය තුළ මෙට්‍රික් ටොන් 12,000 ධාරිතාවයකින් යුත් තවත් ටැංකියක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.සෞභාග්‍යයේ දැක්ම අනුව මෙම සියලු ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශක්තිය, නායකත්වය සහ යටිතල පහසුකම් ලබා දෙන බවද අමාත්‍ය තුමා මෙහිදී අවධාරණය කළේය.

මෙම අවස්ථාවට වරාය හා නාවික අමාත්‍යාංශ ලේකම් යූ.ඩි.සි. ජයලාල් මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා, උප සභාපති ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා,ජයබහලු පර්යන්ත සමාගමේ සභාපති නීතිඥ ලක්මාල් රත්නායක මහතා,කළමනාකරණ අධ්‍යක්ෂ ලෙෂාන් කලුපෙරුම මහතා සහ ජය බහලුම් පර්යන්ත සමාගමෙන් සේවා ලබා ගන්නා ආයතනයන්හී ප්‍රධානීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *