ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට සූදානම්

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරන බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා, රජය බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වෙන් කර ඇති බවත්, අවතැන් ජනතාව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 7,000 කට වැඩි මුදලක් යොදවා ඇති බවත් ප්‍රකාශ කළේය.

ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් ගොඩනැංවීම හා සුරක්ෂිතභාවය මුල්කර ගනිමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහනට සමගාමීව අවතැන් වූ ජනතාවගේ ජනජීවිතය ස්ථාවර කරලීම, ආර්ථික පුනර්ජීවනය ඇති කරලීම සහ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

2009 වසරේ ලබා ගත් යුධ ජයග්‍රහණයෙන් පසුව මේ දක්වා රට තුළ බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කර නොමැති බවත්, බිම් බෝම්බ කඩිනමින් ඉවත් කර ජනතාවට අවශ්‍ය බිම් නිදහස් කර දීමට වත්මන් රජය කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහනේ වැඩබිම් නිරීක්ෂණ චාරිකාවට ඊයේ (22) සහභාගී වෙමිණි. මෙම වැඩසටහන කිළිනොච්චිය, මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේදී පැවැත්විණි.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ඇති නැවත පදිංචි කිරීමේ අංශයට අයත් ‘බිම්වෙඩි පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ විසින් මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
යුධ සමයේදී බිමබෝම්බ වළලා ඇති ප්‍රදේශවල බිම්බෝම්බ කඩිනමින් ඉවත් කර එම ඉඩම්වල ආරක්ෂිතව ජනතාව නැවත පදිංචි කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කළ ජනතාව සඳහා බිම්බෝම්බ අවධානම පිළිබඳ වැඩමුළුවක්ද මෙහිදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *