නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරයක් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රත්මලානේ පිහිටි රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

අලුත් රටට අලුත් බෙහෙත් සංකල්පය යටතේ රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුකොෂසිලින් (Flucloxacillin 500mg) ඹෟෂධ පෙති අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වමින් එළි දැක්වීම මෙයට සමඟාමීව සිදු විය.
පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම මෙන්ම මේ රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය විය යුතු බවට ආණ්ඩුව තරයේ විශ්වාස කරන බව ද අග්‍රමාත්‍යතුමා මෙහිදී සඳහන් කළේය.

අග්‍රාමාත්‍යතුමා නව ඖෂධ නිෂ්පාදනගාරාය විවෘත කරමින් මෙසේ ද කීවේය,

විශේෂයෙන්ම 2012 වසරේදී තමයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාවය දෙගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ආයතනයේ තියෙන වැදගත්කම මම මෙතන ඉන්න පිරිසට අලුතින් කියන්න අවශ්‍ය නැහැ.

නමුත් අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් ඉන්නවා.

ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක්ම මේ රටේ නිෂ්පාදනය විය යුතුයි, ඒ වගේම පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතු යැයි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.

අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි අපේ රට හැම අංශයකින්ම ස්වයං පෝෂිත කරන්න ඕනි, ඒක අනුව තමයි අපිට අපේ අනාගතය ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නේ.

ඹෟෂධ නිෂ්පාදන කලාපයක් හම්බන්තොට ආරම්භ කරන්න යනවා. මම දැන් ඒ ගැන ඇහුවා ලේකම් තුමාගෙන්. ඒක පිටරට යන පෞද්ගලික සමාගම්වලට විතරයි කියලා කිව්වා. හම්බන්තොටටත් ඹෟෂධ නිෂ්පාදන කලාපයක් අපි හදනවා නම්, ඒ පිළිබඳවත් මුල් පියවර තබන්න කටයුතු කළොත් තමයි වඩා හොඳ කියලයි මම විශ්වාස කරන්නේ. මොකද එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත්, මං හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුලුවන්කමක් නැහැ. යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය

අපේ ගරු අගමැතිතුමා කියන්නේ තුන්කල් දකින නායකයෙක්. එතුමා ජනාධිපතිතුමාව සිටි කාලේ, මුදල් ඇමතිතුමා වශයෙන්, මේ ආයතනය මහා පුළුල් කිරීමකට ලක් කළා. එහි ප්‍රතිඵල අද අපි අත්විදිමින් පවතිනවා. ඒ වගේම වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උවමනාව අපේ රටට අවශ්‍ය බෙහෙත් අපේ රට තුළ නිෂ්පාදනය කිරීමයි. ඒ සඳහා අගමැතිතුමාගේ නායකත්වයෙන් යුතුව රජය කැප වී කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා,

ගරු අග්‍රාමාත්‍යතුමනි මේ කාරණය උදෙසා තිබුණු බධා අපමණයි. ඔබතුමා හොඳින්ම දන්නවා අලුත් දෙයක් කරන්න ගියාම කොපමණ අමාරුද කියලා. ඒ වගේම මේ ෆ්ලුකොෂසිලින් කියන බෙහෙත අද අපි එළි දැක්වුවා. එය රාජ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 550ක පමණත් පෞද්ගලික අංශය සඳහා රුපියල් මිලියන 450 ක් පමණත් වැයකරමින් මේ දක්වා පිටරටින් ගෙනාවා.

පහුගිය ආණ්ඩුව කියනවා අපි මේ එයාලා පටන්ගන්න ඒවා විවෘත කරනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ 2015 ට පෙර අගමැතිතුමා පටන් ගත්ත ඒවා ටිකවත් ඔවුන්ට ඉවර කරගන්න බැරිවෙලා තියෙනවා.

උදාහරණයක් වශයෙන් පහුගිය කාලයේ බෙහෙත් වර්ග 4 ක් හෝ 5ක් පමණයි නිෂ්පානය කරලා තියෙන්නේ. නමුත් පහුගිය මාස කිහිපයට මසකට එක ගානේ බෙහෙත් වර්ග අපි අලුතින් නිෂ්පාදනය කළා. ගරු අග්‍රාමාත්‍යතුමනි, ඉන් අපට රුපියල් බිලියන 1.5 ක පමණ මුදලක් ඉතිරි කරගන්න හැකියාව ලැබුණා. මේ වැඩ පිළිවෙල අපි ඉදිරියට ගෙන යනවා ඒ සදහා හොරණ මිල්ලෑව ප්‍රදේශයේ මේ හා සමාන මීටත් වැඩි පහසුකම් තියෙන අලුත් ඖෂද නිෂ්පාදනාගාරයක් ආරම්භ කරන්න කටයුතු කරනවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා

අද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට සුවිශේෂී දවසක්. කරුණු 3ක් පෙරදැරි කරගෙන අපි මේ උත්සවය සංවිධානය කළා. පළමු කරුණ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේ මේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට කරන ලද සේවය අගය කරමින් ඊට කළ ගුණ දැක්වීමටත්, දෙවැනි කරුණ අපි අලුතින් හොමෝන පෙති හා කරල් නිෂ්පාදනාගාරයක් විවෘත කිරීම, තෙවැනි කරුණ ෆ්ලුකොෂසිලින්. මෙහිදී මම ඉතිහාසය ගැන කතා කළොත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 1987 දි ජපානයෙන් ලද පරිත්‍යාගයක්. පෙති හා කරල් මිලියන 550 ධාරිතාවෙන් මේ කර්මාන්ත ශාලාව වලින් ඇරඹුණා.

2012 වසරේ මුදල් අමාත්‍යවරයා ලෙස එවකට ජනාධිපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුපියල් බිලියන 2.4ක් මෙම නිෂ්පාදනාගාරයට අය වැයෙන් වෙන් කරනවා. නව තාක්ෂණය යා වී නව යන්ත්‍ර සූත්‍ර මෙම ආයතනයට ලැබෙනවා. 2012 සිට 2020 දක්වා මෙම ව්‍යාපෘතිය සිද්ධවෙලා, පෙති හා කරල් ධාරිතාව මිලියන 3300 දක්වා වැඩිවෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස මෙම ව්‍යාපෘතියට එදා මුදල් වෙන්නොකරන්නට අද මේ කොරෝනා ව්‍යවසනකාරී තත්ත්වය යටතේ රෝහල් පද්ධතියට ඖෂධ හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. ඉන්දියාව, චීනය රටවල් ගුවන්තොටුපළවල්, වරායවල් වසා දැමුවද, අප ඖෂධ නිෂ්පාදනය කළ නිසා රජයේ රෝහල්වෙත හිඟයකින් තොරව ඖෂධ ලබා දීමට හැකිවුණා.

මේ කර්මාන්ත ශාලාවේ යන්න පුළුවන් උපරිම ධාරිතාව මිලියන 3300 යි. අපි ඒ ඉලක්කයට ළඟා විය යුතුව තිබුණේ 2023 දී. නමුත් අග්‍රාමාත්‍යතුමා ලබාදුන් මුදල් ප්‍රතිපාදන හේතුවෙන් අපට 2021 දී එම අරමුණට ළඟා විය හැකිව තිබෙනවා යැයි කීවේය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්.මුණසිංහ, රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *