(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් වයිරසය නිසා පීඩාවට පත් වී ඇති පවුල්වලට උදවු කරමින් දිළිඳුන් සමඟ බෙදාගත් පවුලේ මංගල්‍යයක් ලෙස නත්තල සමරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් මේ බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
අපි තවත් වසරක නත්තලට සහභාගි වෙනවා. නත්තල කියන්නේ ජේසු බිලිඳුන්ගේ උපත සමරන අවස්ථාවයි. ජේසු බිලිදුන්ව අපි කතෝලික ජනතාව පිළිගන්නේ මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා අපි අතර ජනිත වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා.
මේ නත්තලේදී උන්වහන්සේ බිහිවූ ගව මඩුව දෙසට අපේ අවධානය යොමු කළ යුතුයි. ජේසු ඉපදුනේ රජ මාලිගාවක නෙවෙයි. ඉතා දිළිදු විදිහට උන්වහන්සේ මේ ලෝකයට ආවා. ඒ නිසා මේ නත්තල ඉතා ආධ්‍යාත්මික නත්තලක් විදිහට සමරන්න අවශ්‍යයි.
විශේෂයෙන්ම මේ අවුරුද්දේ ලෝකය පුරා පැතිර ගොස් තිබෙන කොවිඩ් වසංගතය නිසා විශාල ජනතාවක් එයින් පීඩාවට පත්වී තිබෙනවා. මේ නත්තල ඒ අය සමඟ බෙදා ගත යුතුයි. ආත්මාර්ථකාමීවී අපේ පෞද්ගලික ප්‍රීතිය සහ පරිභෝජනයට නත්තල ගත කිරීම වැරදියි. ඒ නිසා මේ නත්තල් මංගල්‍යයේදී අපේ රටත්, ලෝකයත් කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්වී ඇති ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් නත්තල ගත කළ යුතුයි.
මේ රටේ අනෙකුත් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මේ නත්තල සමරන්න. ආධ්‍යාත්මික පැත්තට බරව එය සමරන්න. පවුලේ අයත් සමඟ එය සමරන්න. අනවශ්‍ය වියදම් දරන්න එපා. අසල්වැසි දිළිදු පවුල් සඳහා උදව් කරන්න.
අපේ රටේ කොවිඩ් වසංගතය පැතිරෙන්නේ නැති ආකාරයට, ඒ උපදෙස්වලට කීකරුව පවුලේ මංගල්‍යයක් ලෙස නත්තල සමරන්න. ජේසු බිලිඳුන් ලොවට ගෙනා සාමයේ හා සමඟියේ වටිනාකම් මේ නත්තල් මංගල්‍යයේදී ප්‍රාර්ථනා කරනවා.