සෞභාග්‍යයේ දැක්මෙන් යළි ජීවය ලද මධ්‍යම අධිවේගී මග ….

(කොළඹ, ලංකාපුවත්) –රටක සංවර්ධනයේ කැඩපත දියුණු මාර්ග පද්ධතිය බවට කියමනක් තිබේ. රටේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය ලෙස දියුණු මාර්ග පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවිනි. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම වූ මහාමාර්ග ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම යටතේ, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන් විනාශ වී ගිය උතුරු – නැඟෙනහිර ප්‍රදේශවල ද මහා මාර්ග ඉදිවෙමින් හා අලුත්වැඩියා වෙමින් පැවතීම විශේෂ කරුණකි.

මහාමාර්ග යටතේ මහා මාර්ග විශාල සංඛ්‍යාවක් ඉදිවෙමින් හා සම්පූර්ණ වශයෙන් ම අලුත්වැඩියා වෙමින් පැවතීම මාර්ග සංවර්ධනය පිළිබඳව වූ ලාංකේය ඉතිහාසය විමසා බලන විට සැබවින්ම විස්මය දනවන සුලු කරුණකි.

මේ මොහොත වනවිට රට පුරා නව මං මාවත් නිර්මාණ වෙමින්, අලුත්වැඩියා වෙමින් තිබෙන්නේ සිතාගත නොහැකි තරම් ජවයකිනි. මේ මාර්ග පාලම් නිර්මාණය හා අලුත්වැඩියාව ඇතුළත් සංවර්ධන ක්‍රියාවලියේ ඉදිකිරීම්වල භෞතිකව දිස්වන පෙළහරට වඩා බෙහෙවින්ම ගැඹුරු හරයක් ගැබ් වී තිබේ. ජාතියක් ලෙස අප සංවේදී වියයුතු වන්නේ එම ගැඹුරු යථාර්ථයට ය. වෙන කවරදාටත් වඩා ජාතිය පිළිබඳ අභිමානයක්, පෞරුෂයක් නිර්මාණය වෙමින් ඇත. සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා ජාතිකත්වයෙන් පෝෂිත නියත ප්‍රතිපත්තියක් නිර්මාණය වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප දුටු විශිෂ්ට ගුණ මතින් බිහි වන රටේ සංවර්ධන වැඩසටහනේ පදනම් ප්‍රවේශය ලෙස මාර්ග පද්ධතිය විධිමත් හා සැලසුම් සහගත ලෙස ඉදිවෙමින් තිබේ.

මෙම මාර්ග සංවර්ධන වැඩසටහන හුදු පාරකට තාර ටිකක් දැමීමක්, පාරක් කොන්ක්‍රීට් කිරීමක්, අධිවේගී මාර්ගයක් හැදීමක්, පාලමක් බෝක්කුවක් හැදීමක් වැනි කාරණාවකට ලඝු නොවන්නේ එහෙයිනි. මාර්ග සංවර්ධනය පිළිබඳ අපේ සටහන දිග හැරෙන්නේ මනා පෞරුෂයකින් යළි උපදින ජාතියක පෙරමඟ සුබ ලකුණු අප රටේ නිර්මාණය වෙමින් පවතින මාර්ග පද්ධතියෙන් ප්‍රකට වන අයුරු දැකීමෙන් පහළ වන අප්‍රමාණ වූ සන්තුෂ්ටියෙනි. අප අත්විඳිමින් සිටින්නා වූ මාර්ග සංවර්ධනයේ නව ප්‍රබෝධය පසුගිය 2015 වර්ෂයට පෙර අත්දුටු නමුත් 2015 – 2019 කාල පරිච්ඡේදයේ සිදු නොවීම ද සටහන් කළ යුතුය. කෙසේ නමුත් අද වනවිට අධිවේගී මාර්ග, මහාමාර්ග, පාලම් හා ගුවන් පාලම් විශාල සංඛ්‍යාවක් තැනීමේ කර්තව්‍යය සාර්ථක ලෙස නිමවෙමින් තිබේ.

ඒ වත්මන් ජනාධිපතිවරයාගේ සංවර්ධන ප්‍රතිපත්තිය වූ “සෞභාග්‍යයේ දැක්ම” නම් විශිෂ්ට ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙනි. අලුතින් ඉදිවෙමින් තිබෙන මාර්ග හා පාලම් හැරුණු විට මාර්ග අලුත්වැඩියා කිරීම් හා ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වනවිටත් එහි අර්ථයෙන් ම ක්‍රියාත්මක වෙමින් තිබේ. ලක්වාසී ජනතාව නිතැතින්ම බලාපොරොත්තු වනුයේ ක්‍රමවත්ව විහිදුණු මහා මාර්ග හා දුම්රිය මාර්ග පද්ධතියක උපකාරයෙන් මහමඟදී මුහුණ දීමට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමටය. දවස ආරම්භයේත් අවසානයේත් සෙනඟින් පිරීගිය බස් රථයක් තුළ තෙරපෙන විවිධ සමාජ මට්ටම්වල ජනතාව තරමක් සුවපහසුව ගමන් කළ හැකි පොදු බස්රථ හෝ දුම්රිය සේවාවක් බලාපොරොත්තුවෙන් සිටිති. රාජකාරී බහුල වේලාවන්හී දී පවා මුහුණදීමට සිදු වන වාහන තදබදය හේතුවෙන් මහමඟට ගෙවී යන වැදගත් කාලය ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන වාහන හිමිකරුවන් හට ද ඊට සාධාරණ පිළිතුරක් අවශ්‍යව ඇති බව නිරීක්ෂණය කළෙමු. මේ වනවිට ලංකාව පුරා ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ග පද්ධතිය ඉදිරි වර්ෂයන් හීදී කුමන ආකාරයකින් විහිදේ දැයි යන්න පිළිබඳ කෙටි සංක්ෂිප්තයක් ඔබ හට ගෙනහැර පෑම අපගේ අරමුණ වෙයි.

නුවර පාර නිරන්තරයෙන් වාහන තදබදයට මුහුණ දෙන මාර්ගයකි. ඇතැම් විට එය කඩුවෙල සිට බැලූම්මහර දක්වා දික් වූවක් වෙයි. කෑගල්ල නගරයෙහි ද සතියේ වැඩ කරන දිනයන්හි දී නිරන්තරයෙන් වාහන තදබදය දැකිය හැකිය. මෙම හේතූන් නිසා කොළඹ සිට කිලෝමීටර් 115 ක් පමණ දුරින් පිහිටා ඇති නුවර නගරය වෙත ගමන් කිරීමට ආසන්න වශයෙන් පැය 03කට අධික කාලයක් ගතවේ. ඊට විසඳුමක් ලෙසින් 2002 වර්ෂයේ දී යෝජනා වූ මධ්‍යම අධිවේගී මාර්ගයෙහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 වර්ෂයේ දී මුල්ගල් තැබීය. 2011 වර්ෂයේ දී සාදා නිමකළ දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා වර්තමානයේ දී උත්තර අධිවේගී මාර්ගය යන නාමය භාවිතා කරනු ලබයි. මීට හේතුව උතුරු මැද පළාත හරහා උතුරු පළාතට සෘජුවම පිවිසීමේ හැකියාව එමඟින් ලැබෙන බැවිනි. පැය 2 ක පමණ කෙටි කාලයකින් නුවර නගරය වෙත ළඟාවීමේ පහසුකම් සලසන උත්තර අධිවේගී මාර්ගය ලක්වැසි ජනතාවට නිතැතින්ම අස්වැසිල්ලක් වනු ඇත.

අධිවේගී මාර්ග සංස්කෘතිය මෙරටට හඳුන්වා දී අදට වසර 9 ක් ගතවෙයි. දැනට ඉදිකර ඇති අධිවේගී මාර්ගවලින් උපයා ඇති මුදල රුපියල් බිලියන 40 කට අධිකයි. අධිවේගී මාර්ග පද්ධතිය හේතුවෙන් ආර්ථික ප්‍රතිලාභවලට වඩා වෙනත් ක්ෂේත්‍රවලින් ද අධික ප්‍රතිලාභ අත්වී ඇති බව දැන් රහසක් නොවේ. 2009 වසරේ ත්‍රස්තවාදය අවසන් කිරීමත් සමඟ රටම දැවැන්ත සංවර්ධන සංග්‍රාමයකට ලක් කෙරුණා. ඒ වනතෙක් විදේශයක දී අධිවේගී මාර්ගයක් දැක ඇති ශ්‍රී ලාංකිකයින් වන අපගේ අධිවේගී මාර්ග සිහිනය සැබෑ වුණේ 2011 වසරේදීය. කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය එම වසරේ නොවැම්බර් මස 27 දා විවෘත කෙරුණි. එම ආශ්චර්යයේ පිවිසුම වෙනුවෙන් රජය රුපියල් කෝටි හත්දහසක් වැය කළා. විවිධ අවලාද අපවාද මධ්‍යයේය. මෙම අධිවේගී මාර්ගය ඉදිකෙරුණේ. එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහත් කැපවීම මෙම යෝධ සංවර්ධනයේ දී කැපී පෙනුණා.

ඉන් නොනැවතී තවත් මාර්ග කිහිපයක ඉදිකිරීම් ආරම්භ කෙරුණේ රටම එකම අධිවේගී මර්ග ජාලයකට සම්බන්ධ කරමින්. කොළඹ කටුනායක මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කඳුරට හා උතුරු අධිවේගී මාර්ගය මේ අතුරින් කිහිපයක්. දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම ද තවත් ව්‍යාපෘතියක්. ඒ අනුව මූලික සැලසුම් අනුව උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම්කර ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම්කර ක්‍රියාවට නැංවීය. ජාතික මහාමාර්ග සැලැස්මට අනුව මෙම ව්‍යාපෘතිය මූලික අදියරේ දී බස්නාහිර පළාතේ කොළඹ ප්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවර හා පෞරාණික වටිනාකමකින් හා ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනාගමන පහසූකම් දියුණු කිරීම ඉලක්ක කර ඉදිකිරීම් සිදුවේ. මෙය අන්තර් හුවමාරු මධ්‍යස්ථානවලින් සමන්විත ප්‍රවේශ මාර්ග හරහා පාලනය වන අධිවේගී මාර්ගයකි. මෙය ප්‍රධාන වශයෙන් අදියර 4ක් යටතේ ක්‍රියාත්මක වන අතර 1 කොටස – කඩවත සිට මීරිගම දක්වා (37 Km), 2 කොටස – මීරිගම සිට කුරුණෑගල දක්වා (40.91 Km), 3 කොටස – පොතුහැර සිට ගලගෙදර දක්වා (32.5 Km), 4 කොටස – කුරුණෑගල සිට දඹුල්ල දක්වා (60.3 Km) වේ.

ඒ අනුව මෙහි සෑම අදියරකම ඉදිකිරීම් කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර කඩවත සිට මීරිගම දක්වා වූ කිලෝමීටර් 36.5 ක දිඟින් යුතු කොටසේ ඉදිකිරීම් කටයුතු ද පසුගිය සැප්තැම්බර් මස 15 සිට ක්‍රියාත්මක වෙයි. ඒ කොටස වෙනුවෙන් ඇස්තමේන්තු ගතකර තිබෙන මුදල රුපියල් බිලියන 158.5 ක් වන අතර එයින් සියයට 15ක ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරය ද ඉතිරි සියයට 85 ක ප්‍රමාණය චයිනා එක්සිම් බැංකුව විසින් ද වෙන්කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කොඩිතුවක්කු මහතා පවසයි. මෙහි ඉදිකිරීම් කටයුතු මෙට්‍රොලොජිකල් චයිනා කෝපරේෂන් සමාගම ක්‍රියාත්මක කරයි. දෙවැනි අදියර වන කිලෝ මීටර් 40.91 ක දුරකින් යුතු මීරිගම – කුරුණෑගල කොටස වෙනුවෙන් රුපියල් බිලියන 137ක් ඇස්තමේන්තු කර තිබෙන අතර එම කොටස ද මේ වනවිට අවසන් වෙමින් පවතී. එහි සමස්තය මේ වනවිට සියයට 82කින් පමණ අවසන් කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ කේ.එච්.එම්.ඒ.කේ කෙහෙල් ඇල්ල මහතා පවසයි. 2017 වසරේ පටන් ගත් මේ ව්‍යාපෘතිය 2019 වසරේ ජූලි මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබුණ ද යම් යම් හේතුන් මත එය අවසන් කර ගැනිමට නොහැකි වූ බවද තවත් මාස දෙකක පමණ කාලයක දී මෙම අදියර අවසන් කිරීමට හැකි වෙතැයි ද ඒ මහතා විශ්වාසය පළකරයි.

මේ වනවිට ඉඩම් අත්පත් කිරීම් සිදුවන බවද දේශීය බැංකු ණය ආධාර මත මේ අදියරේ කටයුතු සිදුවන බවද හෙතෙම පෙන්වාදෙයි. ඊට අමතරව රුපියල් බිලියන 143 ක් ඇස්තමේන්තු ගතකර තිබෙන පොතුහැර – කුරුණෑගල කොටසේ ඉදිකිරීම් කටයුතු ද මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

ජනතාවගේ වටිනා කාලයට උපරිම අගයක් දෙන අධිවේගී මාර්ග හේතුවෙන් මැනිය නොහැකි තවත් ප්‍රතිලාභ රැසක් අප බුක්ති විඳිනවා. අභියෝග හා අපහාස මැද 2011 වසරේ ජනගත කෙරුණු මෙරට අධිවේගී මාර්ග සංස්කෘතිය හේතුවෙන් ලැබුණු ප්‍රතිලාභ මිලකළ නොහැකි බව කෘතගුණ දන්නා ජනතාව සඳහන් කරති. විශේෂයෙන්ම මේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ගත්විට පාරිසරික හා සමාජීය බලපෑම අවමවන පරිදි යෝජිත ඉදිකිරීමේ මාර්ග පථය නාගරික ප්‍රදේශ මඟහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් ගන්නා අතර මෙම අධිවේගී මාර්ගය මංතීරු 4ක් කින් යුක්තව මුදල් ගෙවීමේ කවුළු සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4ක් යටතේ ක්‍රියාත්මක වේ.

මීට අමතරව මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 වන කොටස යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකරන පොතුහැර හුවමාරුව (Pothuhera System Interchange) අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වාහන නුවර- කුරුණෑගල හා කොළඹ දෙසට හුවමාරු වීමට ඇති පහසුකම් සලසා දෙන අතර අධිවේගී මාර්ගය ඉහලින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 12ක්, අධිවේගී මාර්ගය ඉහලින් හා පහලින් ගමන් කරන කොටස් 42 ද බෝක්කු 130 ක්ද සම්පූර්ණයෙන් ගත්කළ මීටර් 9,938 ක් වන කොන්ක්‍රීට් කණු මත දිවෙන මාර්ග කොටස් 36 කින් සමන්විත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. මේ සමස්ත ව්‍යාපෘති ඉදිරි වසර හතරක කාලයේ දී අවසන් කිරීමට නියමිතව තිබේ.

මීටර් 2.5ක දෙපස මාර්ගයේ උරහිස් ද මධ්‍ය පරතර තීරුව මීටර් 2.0 කින් යුක්ත වන හා මීටර් 3.6 ක මංතීරු 4 කින් සමන්විත අධිවේගී මාර්ගයකි. අවශ්‍ය ස්ථානවල දුර්වල බිම් ශක්තිමත් කර අත්තිවාරම්, පාදම සකසා හා ගල්තාර දමා මාර්ගය සැකසීම සිදුකෙරේ. අවශ්‍ය පරිදි මාර්ග සංඥා, සලකුණු හා දිශා පුවරු අන්තර්ජාතික සම්මත ප්‍රමිතීන්ට අනුව යොදනු ලබන අතර අන්තර් හුවමාරු මධ්‍යස්ථාන සඳහා ප්‍රමාණවත් ආලෝක සැපයුම් ස්ථාපනය කරනු ලැබේ. පැයට කිලෝමීටර් 100 උපරිම වේගයකින් ධාවනය කර ගමනාන්තය කරා සුවපහසුව, ඉක්මනින් හා ආරක්ෂාකාරීව ගමන් කිරීමේ පහසුව ඇති කිරීමේ අරමුණින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර පුද්ගලයින් මඟින් ක්‍රියාකරවන හා ස්වයංක්‍රීයව මුදල් අයකරන කවුළු සහිතව මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකරයි.

මේ අතර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමද විනිවිදභාවයකින් ක්‍රියාත්මක කරන්නටත් ඉහළම තක්සේරු වටිනාකමක් ගෙවන්නටත් රජය පියවර ගෙන ඇත. 1950 අංක 09 දරන රජයේ ඉඩම් අත්කරගැනීමේ පනත (460 අධිකාරය) අනුව මාර්ග සංවර්ධන අධිකාරිය වෙත අධිවේගී මාර්ග ඉදිකිරීමට අදාල ඉඩම් අත්කරගැනීම් කටයුතු මීරිගම, අලව්ව, නාරම්මල, පොල්ගහවෙල, වීරබුගෙදර, කුරුණෑගල හා මල්ලවපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7ක් යටතේ සිදුකෙරෙන අතර ඉඩම් අත්කර ගැනීමේ පනත අනුව පවරා ගැනීමට අදහස් කරන ලද ඉඩම් රජයේ මැනුම් දෙපාර්තමේන්තුවේ මූලික පිඹුර හා අවසන් ගම් සිතියම් ප්‍රකාරව ව්‍යවස්ථාපිත වන්දිය තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව අනුව තීරණය කර ගෙවීම් සිදුකෙරේ.

මේ හරහා පෞද්ගලික ඉඩම් කොටස් 4,038 ක් අත්කරගැනීම කටයුතු කර ඇති අතර රජයේ ඉඩම් ඇතුළුව සම්පූර්ණ කොටස් 4,841 ක් ඉදිකිරීම් සඳහා අත්පත් කරගෙන ඇත. එයින් පෞද්ගලික ඉඩම් කොටස් 3,614 ක් සඳහා රුපියල් මිලියන 7,192 ක් ගෙවීම් කර ඇත. කෙසේ වුවද මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවට පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක් රුපියල් බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුරු වූ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාදවීම හේතුවෙන් පමණක් රුපියල් බිලියන 08 ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවද එහිදී අනාවරණය විය.

මෙහිදී පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බවද 2012 දි උතුරු අධීවේගී මාර්ගය ලෙස පියවර 03ක් යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වනවිට මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස පියවර 04 ක් යටතේ වෙනස්ව තීබේ. ඒ අනුව පසුගිය 2015 – 2019 කාල පරිච්ඡේදයේ දී මේ ව්‍යාපෘතියට අදාළව අක්‍රමිකතා රැසක් සිදුව තිබෙන බවට අනාවරණය කරගෙන ඇත. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ රටේ සංවර්ධන කටයුතු වෙනුවට ක්‍රියාත්මක කළ ක්‍රමවේදය වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටින සමයේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමීම සහ ඔවුන්ගේ දේශපාලන වශයෙන් පළිගැනීම මිස අන් කිසිවක් නොවන බවට සත්සුදක් සේ පැහැදිලිය.

වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන, වාණිජ සහ දේශගුණික විපර්යාසයන් හමුවේ නොසැලී ඉදි වන මහා මාර්ග, දුම්රිය මාර්ග, වරාය සහ ගුවන්තොටුපල වැනි සංවර්ධනයට තුඩුදෙන ගොඩනැඟීම් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමෙහිලා වූ දිගු ගමනේ පුරෝගාමීහු වෙති. ඒ අනුව ඉන්දීය සාගරයේ මුතු ඇටය නම් වූ මෙම අපූරු දිවයින තුළ විවිධ පළාත්වල ජීවත්වන විවිධ ජාතීන් අතර සහයෝගීතාවය නංවාලීම පිණිස මෙම සංවර්ධන ක්‍රියාදාමය ඉවහල් වනු නොඅනුමානයි.

මූලාශ්‍ර උපුටා ගැනීම – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 9 =