ලෙකෝ ස්මාර්ට් මීටරය සුහුරු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ ප්‍රධාන හැරවුම් ලකුණක් – විදුලිබල ඇමති

(කොළඹ, ලංකාපුවත්) –”මීටරෙන්” ජීවත්වන යුගයක ලෙකෝ ස්මාර්ට් මීටරය සුහුරු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ ප්‍රධාන හැරවුම් ලකුණක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, බණ්ඩාරගම අන්ටෙ ලෙකෝ සුහුරු මනු නිෂ්පාදනාගාරයේ වර්ථමාන තත්ත්වය පරීක්ෂා කිරීම වෙනුවෙන් පැවති නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

“අන්ටෙ ලෙකෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණයේදී අපට වැටහුන දේ තමයි, මීටරය මේ තරම් ස්මාර්ට් නම් ජීවිතය මොනරම් ස්මාර්ට් වියයුතුද කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපට දී තිබෙන ඉලක්කයේ කෙටිම අරුත තමයි සුහුරු ශ්‍රී ලංකාවක් බිහි කිරීම. මේ අවස්ථාවේ රටක් වශයෙන් අපි දකින්නේ සුහුරු ශ්‍රී ලංකාවක් පිළිබද සිහිනයයි. සිහින දකින්නත්, ඒවා ලුහුබදින්නත්, ඒ සිහින සැබෑ කරගන්නත් අපි දක්ෂ වෙන්න ඕන. ඒ කාර්යයේදී අපිට සමාජමය මෙන්ම ආර්ථික වශයෙන් නොයෙක් අභියෝග තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම කරා ජාතික මට්ටමෙන් යන ගමනේදී, විදුලිබල අමාත්‍යාංශයේ සහෝදර ආයතනයක් වන ලෙකෝ ආයතනයට පැවරී තිබෙන්නේ පෙරගමන්කරුගේ වගකීමයි. ඔවුන් මේ වනවිට එය ඉටු කරමින් සිටිනවා. රාජ්‍ය ආයතන ඇතුලේ ලෙකෝ ආයතනයට සුවිශේෂී සලකුණක්, අනන්‍යතාවයක් තිබෙනවා. විදුලිබල පවුලේ ගෘහමූලිකයා වශයෙන් මම ඒ පිළිබදව ඉතාමත් සතුටට පත්වෙනවා. ක්ෂේත්‍රයක් වශයෙන් ගත්තම, අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ රට බලශක්ති අර්බුදයකට මුහුණ නොදෙන රටක් වශයෙන් ඉදිරියට ගෙනයාමයි. 1977 ලොවට තිළිණ වූ ස්මාර් මීටරය ලංකාවට එන්න දශක 3 ක් පමණ ගතවී තිබෙනවා. ලෝකය වේගයෙන් ඉදිරියට ගිහින් තිබෙනවා. නමුත් දැන් අපි අළුතින් ගමනක් ආරම්භ කරලා තිබෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මෙය විවෘත කරලා තිබෙන්නේ බිහිසුණු ත්‍රස්තවාදී භීෂණයක් පැවති යුගයක. ඒ පිළිබදව අද අපි එතුමාට කෘතඥතාවය පලකළ යුතුයි. සුහුරු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ එක් හැරවුම් ලක්ෂයක් වශයෙන් මෙම සුහුරු මනු නිෂ්පාදනාගාරය අපට හදුන්වා දෙන්න පුළුවන්. ආණ්ඩුවක් හැටියට අපි උත්සාහ කරන්නේ, මේ රටේ සුළඟ, ජලය, හිරු යන ආත්මීය සංකල්ප තුළින් පොසිල ඉන්ධන වලින් මෙන්ම බලශක්ති අර්බුදයකින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. අපේ අවසාන ඉලක්කය ඒකයි. එම ඉලක්කය ජය ගැනීම වෙනුවෙන් පුනර්ජනීය ප්‍රභවයන්ගෙන් නිපදවෙන බලශක්තිය ගබඩාකර තබාගැනීමේ තාක්ෂණික අභියෝගය, මම මේ අවස්ථාවේ ලෙකෝ ආයතනයට බාර දෙනවා” යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි.

අන්ටෙ ලෙකෝ මීටරින් සමාගම යනු ශ්‍රී ලංකාවේ ඇති එකලා මනු නිෂ්පාදනය කර ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගමට බෙදාහරින එකම ආයතනයයි. මෙම ආයතනය 2008 වසරේදී එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණේ ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබූ දැවැන්ත විදුලි මීටර් අර්බුදයට පිලියමක් ලෙසිනි. එලෙසින් ඇරඹුණ මෙම ආයතනය තුළ 2008 වසරේදී මුලින්ම නිෂ්පාදනය වූයේ electro mechanical මීටරයයි. පසුව 2014 වසරේදී මෙම ආයතනය තවත් පියවරක් ඉදිරියට තබමින්, ඉලෙට්‍රෝනික මනු නිෂ්පාදනය ආරම්භ කෙරිණි. මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙනයනු වස්, 2017 වසරේදී මෙම ආයතනය සුහුරු මනු නිෂ්පාදනාගාරයක් බවට පරිවර්ථනය විය.

මෙමගින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට අවශ්‍ය සුහුරු මනු නිෂ්පාදනය කෙරුණ අතර සමස්ත මනු නිෂ්පාදන ක්‍රියාවලියෙන් 40% ක කට වැඩි කොටසක් රට තුළ සිදුවීම ආරම්භ විය. වසර 2021 වනවිට මෙම ආයතනයේ අපේක්ෂාව වනුයේ සම්පූර්ණ මනු නිෂ්පාදන ක්‍රියාවලිය රට තුළම සිදුකිරීමට හා එමගින් අප නිෂ්පාදන විදේශ රට වලට අපනයනය දක්වා ගොස්, තරඟකාරී අන්තර්ජාතික මනු නිශ්පාදකයෙකු වීමයි.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති නීතීඥ අතුල ද සිල්වා, සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් යන මහත් මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *