ගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසි තීරණයක් නොවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ගුවන්තොටුපල විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් කුමන අභියෝග හමුවේ වුවද ලබන 21 වෙනිදා සිට ගුවන්තොටුපල විවෘත කරන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සංචාරකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙල හරහා විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ වැඩපිලිවෙලට කිසිදු බාධාවක් නොවන බවටද සහතික වන ඇමතිවරයා ලබන සතියේ සිට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ වැඩපිලිවෙල වේගවත් කිරීමට රජය තීරණය කර ඇතැයි ද කියයි. ඒ අනුව මැද පෙරදිග කලාපයෙන් සතියකට ගුවන්යානා 05 ක් ගෙන්වීමටත් කාගෝ ගුවන්යානා මගින් මෙරටට ගෙන්වන විදේශගත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමටත් තීරණය කර ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ අද (07) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කිවේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කිවේය.

රට විවෘත කිරීමට ගත් තීරණය හදිසියේ ගත්ත එකක් නෙවෙයි. අපි පසුගිය ජුලි මාසයේ සිට මේ සදහා සුදානම් වුනා. සෞඛ්‍ය අංශ සමග එකතුවෙලා අපි ගයිඩ් ලයින් හැදුවා. නමුත් දෙවැනි රැල්ල ආපු නිසා එය ක්‍රියාත්මක කරන්න බැරි උනා. දෙවෙනි රැල්ල තරමක් පාලනය වන විට අපි නැවත සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කළා. සංචාරකයන්ට විවෘත කරන්න සංචාරක ක්ෂේත්‍රයේ නිරත සියලු සංවිධාන සමග කථා කලා. සංචාරක හා සෞඛ්‍ය අංශ අතර එකගතාවයක් ඇති කරගන්න අපිට සාකච්ඡා වට ගණනාවක් කරන්න සිදු වුනා.

සංචාරකයන් රටට ගෙන්වීමේ පයිලට් ප්‍රොජෙක්ට් එක ආරම්භ කලේ 21 වෙනිදා රට විවෘත කිරීමට පුර්ව සුදානමක් ලෙසයි. අපි මේ පයිලට් ප්‍රොජෙක්ට් එකට සංචාරකයන් ගෙන්වන්න සියලුම දෙනාට ආරාධනා කලා. රුසියානු කලාපයෙන් සංචාරකයන් ගෙන්වන්න ආයතන 03 ක් ඉදිරිපත් වුනා. ඒ ආයතන තුන තමයි යුක්රේන සංචාරකයන් මෙරටට ගෙනාවේ. මේ වන විට මේ ආයතන 03 යුක්රේන සංචාරකයන් 600 ක් විතර ගෙනවිත් තිබෙනවා. ඔවුන් මෙරටට එන්න පැය 72 කට කලින් PCR එකක් කලා. ආපු ගමන් PCR එකක් කළා. සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තියෙනවා ආපු යුක්රේන සංචාරකයන් දෙදෙනෙකුට විතරයි පොසිටිව් වෙලා තියෙන්නේ කියලා අපි සංචාරකයන් ගෙන්විමේදි අනුගමනය කල හැකි, අනුගමනය කල යුතු, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවා.

සංචාරකයන් රටට ගෙනල්ලා දින 14 ක් හෝටල්වල තියාගන්න බෑ. නව සාමාන්‍යකරනය යටතේ ඒ ඒ කණ්ඩායම් වලට වෙන වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කල යුතුයි. විදේශගත ශ්‍රී ලාංකිකයන් මව්බිමට ආවට පස්සේ සමාජයට යනවා. සංචාරකයන් එන්නේ දින 7-8 කට නැත්නම් දින 10 – 12 කට. එනකොට අපිට අනුගමනය කරන්න වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙනස්. ඒ හින්දයි අපි බයෝ බබල් එකක් හැදුවේ. රටේ ජනතාවට සංචාරකයන්ගෙන් කොවිඩ් බෝ නොවන්නටත් ජනතාවගෙන් සංචාරකයන්ටත් බෝ නොවෙන්නටත් තමයි අපි මේ ගයිඩ් ලයින් අනුගමනය කරන්නේ.

යාල සිද්ධිය වුනේ මේ හෙල්ත් ගයිඩ් ලයින් අනුගමන නොකල නිසයි. එතන අපේ අඩුපාඩුවක් වුනා. පයිලට් ප්‍රොජෙක්ට් එකට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ අපිට ලැබුනේ අන්තිම මොහොතේ. ඒ නිසා අපේ පණිවිඩය පහලට ගලාගෙන යාමේ ගැටලුවක් ඇතී වී තිබෙනවා. නමුත් සිද්ධිය වාර්තා වූ වෙලාවේ අපි එය වහාම නිවැරදි කර ගත්තා. ඒක කොරොන්ටයින් කිරීමක් නෙවෙයි. ඔවුන් වෙන් කර තැබීමක් වෙලා තියෙන්නේ. මේ සංචාරකයන් ගෙන්වන ආයතන අපිව දැනුවත් කළ යුතුව තිබුනා නමුත් එය නිවැරදිව වුනේ නැහැ.

සංචාරකයන් පසුගිය කාලයේ වැඩි වශයෙන්ම බලන්න ගිය තැන් තමයි අපි පයිලට් ප්‍රොජෙක්ට් එකට තොර ගත්තේ. ඒ තෝරගත් සංචාරක ස්ථාන බලන්න සංචාරකයන් යන විට ඔවුන් හා දේශීය සංචාරකයන් මුහු නොවන්න අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දී තිබෙනවා. අපි පුජනීය ස්ථාන වහන්නේ නෑ. අපි සංචාරකයන් දළදා මාලිගාවට එනවට ස්වාමීන් වහන්සේලා විරුද්ධ නම් සංචාරකයන් දළදා මාලිගාවට එවන්නේ නෑ.

මොන අභියෝග තිබුනත් අපි 21 වෙනිදා ගුවන්තොටුපල අරිනවා. ඒ සදහා අපි අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් හදුන්වා දෙනවා. එය මේ වන විට සෞඛ්‍ය අංශ වල අනුමැතියට යවා තිබෙනවා. ප්‍රමාදයකින් තොරව එය ලැබුනොත් අපිට 21 වන විට ගුවන්තොටුපල විවෘත කළ හැකියි. අපි ඒකට ලැස්තියි.

රට විරුවන් ගැන විපක්ෂය නගන චෝදනා පට්ටපල් බොරු. මේ වන විට 70,000 ක් විතර අපි විදේශ ගත ශ්‍රී ලාංකිකයන් රටට ගෙන්වලා තිබෙනවා. මේ 70,000 න් 60,000 ක් විතර ගෙනත් තිබෙන්නේ රජයේ අනුග්‍රහයෙන්. 10,000 ක් විතර තමයි මුදල් ගෙවලා හෝටල් වල නිරෝධානය වෙන්න ඇවිත් තිබෙන්නේ. හෝටල් වල නිරෝධායනයට එන අයගෙන් මුදල් අය කිරීම ගැන ගැටලුවක් තිබෙනවා. ඒක ගැන රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ වන විට ජනාධිපතිතුමා තීරණය කර තියෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙල වේගවත් කරන්න. මීට කලින් සතියකට මැද පෙරදිගට ශ්‍රී ලාංකිකයන් ගෙන්වන ගුවන්යානා ගියේ 02 යි ලබන සතියේ සිට මෙය 05 දක්වා වැඩි කරන්න රජය තිරණය කර තියෙනවා. එක යානයක 250 ත් 280 ත් අතර පිරිසකට එන්න පුලුවන්. මේ එන හැම කෙනෙක්ම රජයේ වියදමින් කොරොන්ටයින් කරනවා. ඒ එන හැම කෙනෙක් වෙනුවෙන් විශාල මුදලක් රජයට වැය වෙනවා. නමුත් අපි ඒ කටයුත්ත දිගටම කරනවා.

මීට අමතරව කාගෝ ගුවන්යානා මගින් ගෙන එන ශ්‍රී ලාංකික මගින් පිරිසත් 75 දක්වා වැඩි කරනවා. මෙතෙක් කල් එම ගුවන් යානා වලින් රටට ගෙනාවේ 50 දෙනෙකු බැගින්. පසුගිය ජුනි මාසය වන විට 60,000 ක් විතරයි ලියාපදිංචි වෙලා තිබුනේ. දැන් මේක වැඩි වෙමින් තිබෙනවා. සංචාරකයන්ට රට විවෘත කිරීමේ වැඩ පිලිවෙල හරහා විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීමේ වැඩ පිලිවෙලට කිසිදු බාධාවක් වෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *