කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ පළමු WhatsApp බැංකුකරණ පහසුකම හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) –පණිවුඩ යැවීම සඳහා ලෝකයේ වැඩිපුරම භාවිතා කරන ඇප් සේවාවක් වන WhatsApp හරහා බැංකු සේවා ලබාදෙන ශී‍්‍ර ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව තවත් පුරෝගාමී පියවරක් තබා තිබේ.

මෙහිදී, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතා කරන අයට ඉතාමත් පහසුවෙන් සහ වේගවත්ව බැංකු සේවා ලබාගත හැකි පරිදි මෙම පහසුකම නිර්මාණය කර තිබෙන අතර බැංකුවේ ගිණුම් හිමියන්ට සහ අලූතෙන් ගිණුම් විවෘත කිරීමට බලාපොරොත්තු වන අයට මේ තුළින් සේවා ලබාගත හැකිවේ. මෙම සේවාව මගින් බැංකුවේ ගිණුමක් විවෘත කරමින් ගනුදෙනුකරුවෙකු වීමට බලාපොරොත්තු වන අයට එම කටයුත්ත ඉටු කිරීමටත් මෙම පහසුකම භාවිතා කළ හැකි බව බැංකුව සඳහන් කරයි.

මේ අනුව, කොමර්ෂල් බැංකුවේ ගනුදෙනු කරුවන්ට 0713 353 353 අංකයට සරල පණිවුඩයක් එවීම මගින් මෙම සේවාව භාවිතා කළ හැකි වේ. මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට අනුගමනය කළ යුතු සරල පියවර කිහිපයක් බැංකුව විසින් දැනුම් දෙන අතර ගනුදෙනුකරුවාටම වෙන්කළ රහස් අංකය කෙටි පණිවුඩයක් මගින් ලබාදීමෙන් පසුව අවශ්‍ය තොරතුරු ගනුදෙනුකරුවාට ලබාදීමට බැංකුව කටයුතු කරනු ඇත. මෙහිදී, සංවේදී දත්ත ගනුදෙනුකරුවාට ලබාදීමට පෙර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් එක් වරක් පමණක් ලියාපදංචි කිරීම කරමින් ගනුදෙනුකරුවා හඳුනාගැනීම බැංකුව විසින් සිදුකරයි.

මෙමගින් කොමර්ෂල් බැංකුවේ ගිණුම් හිමියන්ට බැංකු සේවා මාලාවක් ලබාගත හැකිවේ. මේවා අතරට, ගිණුමේ ශේෂය පරීක්ෂා කර ගැනීම, ගිණුමේ ඉතිහාසය බලාගැනීම, චෙක් පොතක් ඉල්ලා සිටීම, ගනුදෙනුකරුවන්ට සහ ගනුදෙනුකරුවන් නොවන අයට ස්ථාවර තැන්පතු පොලී අනුපාත සහ විදේශ විනිමය අනුපාත ලබාගැනීම, කොම්බෑන්ක් ඩිජිටල් ඇප් සේවාවේ ස්වයංව ලියාපදිංචි වීම හෝ ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම ඔස්සේ නව ගිණුමක් විවෘත කිරීම ඇතුළත් වේ.

‘ලෝකය පුරා බිලියන දෙකකට වැඩි ජනතාවක් පණිවුඩ යැවීම සඳහා WhatsApp භාවිතා කරනවා. ශ‍්‍රී ලංකාව තුළ මිලියන 6.5 කට වැඩි ජනතාවක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා යැයි ඇස්තමේන්තු කර තිබෙනවා,’ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්ෂ එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය ආරක්ෂාකර ගතයුතු මේ අවස්ථාවේ බැංකු සේවා පුළුල් කිරීමේදී මේ ආකාරයේ වඩාත්ම ජනප‍්‍රිය පණිවුඩ යැවීමේ සේවාවක් වන WhatsApp සේවාව මෙරට මිලියන ගණනක ජනතාවක් භාවිතා කරන නිසා ඒ හරහා බැංකුකරණය සඳහා ගනුදෙනුකරුවාට තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ.’

මෙම සේවාව හඳුන්වා දීමත් සමග මූලික බැංකු කටයුත්තක් සිදුකර ගැනීම සඳහා ගනුදෙනුකරුවන් බැංකු ශාඛාවකට පැමිණිය යුතු නැතිබව බැංකුව සඳහන් කරයි. WhatsApp බැංකුකරණය තුළින් ඩිජිටල් බැංකු සේවා වලට අවතීර්ණ වීමට කැමති ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීමට බැංකුවට හැකිවන බව ද බැංකුව පවසයි.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 880 ක් පවත්වාගෙන යයි.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *