පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තාට මෛත්‍රී ඇතුළු පිරිසට එරෙහි පෙත්සම් විභාගයට දින නියම වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාලි සිරිසේන මහතා ඇතුළු පිරිසට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ප්‍රමාණවත් බුද්ධි තොරතුරු තිබියදී එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් පෙත්සම් ගොනු කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය ඇතුළු පිරිසකට එරෙහිවය.

මෙම පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබීය. අදාළ පෙත්සම් විභාගය මාර්තු මස 08, 09 සහ 10 යන දිනවල සිදු කිරීමට විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේය.

එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර වි‌ජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල් ද සිල්වා යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදයකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බැවින් තමන් අධිකරණය හමුවේ කරුණු දක්වන බවයි. තම සේවාදයකයින් වෙනුවෙන් නීතිපතිවරයා මෙතෙක් විරෝධතා ගොනු කර නැති බැවින් ඒ සදහා දිනයක් ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ල‌ා සිටියේය.

ඒ අනුව අදාළ විරෝධතා පෙබරවාරි 08 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය සදහන් කළේය. එම විරෝධතාවලට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරාවරි 15 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට‌ දැනුම් දෙන ලදි.

පෙත්සම්වලට‌ අදාල ලිඛිත දේශන ඇත්නම් ඒවා පෙබරවාරි මස 24 වනදාට හෝ ඊට පෙර ගොනු කරන ලෙස අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six − 3 =