රටට ඇතුල් වීමට සීමා පැනවීමට ප්‍රථම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 16ක් ජපානට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය IM JAPAN ආයතනය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව ජපානයේ රැකියා සදහා 2021 ප්‍රථම කණ්ඩායම අද(15) පිටත් කර හැරිමට කටයුතු කර ඇත.

මේ යටතේ 16 දෙනෙක්ගෙන් යුත් කාන්තා හා පිරිමි ශ්‍රමික කණ්ඩායමක් සාත්තු සේවය, ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තය, ලෝහ පීඩන සැකසුම් කර්මාන්ත සඳහා පිටත් කර හැරීමට ගුවන් ටිකට්පත්, ජපානයට ඇතුළු ඇතුළුවීමේ අවසර පත්‍ර, රැකියා ගිවිසුම් පත්‍ර, පුහුණු සහතිකපත්‍ර ඇතුළු ලේඛණ භාරදීම විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේදී පිරිනමන්නට විය. මුදලක් අය කිරීමකින් තොරව රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කරන අතර සම්මුඛ පරීක්ෂණකින් තෝරාගෙන මාස හතරක නේවාසික පුහුණු සැසියක් අවසන් කළ පිරිසක් මෙසේ අද පිටත්ව යාමට සුදුසුකම් ලබා ඇත.

IM JAPAN වැඩසටහන යටතේ 2020 මාර්තු මස 22ක කණ්ඩායමක් යැවීමෙන් අනතුරුව කොරෝනා උවදුර උත්සන්න වීම හමුවේ ශ්‍රමිකයින් යොමු කරන වැඩසටහනට නතර විය. මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කළ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මැතිතුමන් ජපාන බලධාරීන් හා IM JAPAN ව්‍යාපෘතියේ නිලධාරීන් සමග සාකච්ඡා කොට රැකියාගත කිරීමේ වැඩසටහන නැවත බලගැන්වීම සඳහා දුන් උපදෙස් සහ ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වශයෙන් මාස 8කට පසු මෙම කණ්ඩායම පිටත් කර හැරීමට මෙසේ හැකිවිය.

විදේශිකයින් ජපන් රටට ඇතුල්වීම සම්බන්ධයෙන් පනවා ඇති නව සීමාවන් ජනවාරි විසි එක් වන දා සිට බලගැන්වීමට ප්‍රථම මෙම කණ්ඩායම ජපානය බලා පිටත් කර හැරීමට IM JAPAN නිලධාරීන් හා විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් කටයුතු කිරීම නිසා මෙම 16 දෙනා අද දින පිටත්ව යාමට අවස්ථාව උදාවිය.

දෙරට අතර අත්සන් කල ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් දෙසීයකට අධික පිරිසක් නොමිලේම රැකියා සඳහා ජපානය බලා පිටත් කිරීමට කටයුතු කර ඇති අතර තවත් සිය දෙනෙකු පමණ ඉදිරියේ දී පිටත් කිරිමට මේ වන විට සූදානම් කර ඇත. මෙම පිරිසට ජපානයේදි පුහුණුවක් සමඟ රැකියාවේ නිරතවීමට අවස්ථාව උදා වී ඇත. වසර 03ක කාලයක් සුරක්ෂිව ජපානයේ රැකියා කිරිමට මොවුන්ට අවස්ථාව උදා කෙරේ.

මෙම ශ්‍රමිකයන්ට විදේශගත වීමට අවශ්‍ය ලේඛන පිරිනමන අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කමල් රත්වත්තේ මහතා සමඟ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා, අතිරේක සාමාන්‍යධිකාරී ඩබ්.එම්.වි. වනසේකර මහතා, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරුන් වන මංගල රන්දෙනිය හා ජගත් බටුගෙදර යන මහත්වරුන් ද, IM JAPAN වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝඡිත එච්. කවහාරා මහතා, ජපන් භාෂා පුහුණු උපදේශිකා වයි. ඉක්දා සෙන්සේ මිය සමග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *