යුක්රේන සංචාරකයන් පැමිණීමෙන් ලැබුණු ආදායම ලක්ෂ 4,200ක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය දෙසැම්බර් 26 වැනිදා ආරම්භ කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය යටතේ යුක්රේන සංචාරකයන් 1500 කට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර ඉන් මෙරටට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ 4,200 ක් පමණ වන බවද එම නියාමන වයාපෘතියේ දී හඳුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබෙන අතර මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතික ලත් හෝටල් වන බවද එළඹෙන 21 දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවද ඒ මහතා කියාසිටී.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගත යුතු සියලු පියවර ගෙන ඇති බව සදහන් කරන ඇමැතිවරයා සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකාබලා බවද පෙන්වාදෙයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අදාල සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබෙන අතර 21 වනදායින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි. පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමණි. මෙරටට පැමිණෙනු සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකෙරෙන අතර එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාළ හෝටල්වලම රැදී සිටිය යුතුය.

දින 5-7ත් අතර කාලයේ දී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුනාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුළක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුව වන අතර සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ට ද සාමාන්‍ය සමාජය සමඟ ගැවසීමට ඉඩක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේය.

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේ සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින බවයි. ජාතික වගකීමක් ලෙස සලකා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩපිලිවෙලට සහය වන්නැයි ඇමතිවරයා සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය. “රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් රට යථා තත්වයට පත්කිරීමේ වගකීම අපට තිබෙන අතර රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍යයටත් මෙහිදි විශාල කාර්යයභාරයක් පැවරෙන බවද ඒ නිසා මේ කටයුත්තේ දි මාධ්‍යවල සහය අවශ්‍ය බවද ඇමතිවරයා කිවේය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහත්ම මහත්මීන් සහ රජයේ හා පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීහු එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *