දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකියි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ලෝකයම වසංගත බියකින් වෙලී ගි‍යත්, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙරට පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(20) පැවසීය.

ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ දස වැනි සංවත්සර උත්සවය සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍යතුමා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ සම්පූර්ණ කතාව මෙසේය.

දස වසරක් සපුරන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට සුබ පැතුම් එක් කරන්නෙ ඉතාම සතුටින්.

මේ පාසල ආරම්භ වෙලා ගතවන්නෙ ඉතාම කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුළදිත් අධ්‍යාපන හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් දක්ෂතා දක්වන්න මේ පාසලට හැකිවුණා කියලා අපි දන්නවා. ඒ නිසා රටේම අවධානය මෙම පාසල දිනාගත්තා.

එදා මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ මෙම පාසලට උපත දෙන්න බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රමුඛ අපට හැකිවුණා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ප්‍රමුඛ අපේ ඉලක්කය වූණේ ද්විතීය පාසල් දහසක් රටපුරා ඇතිකිරීම. එදා අධ්‍යාපන ඇමැති විදියට මේ සංකල්පයට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ප්‍රමුඛත්වය ගත්තා.

ජනප්‍රිය පාසල් සංකල්පයෙන් පීඩා විදින දෙමාපියන්ට මෙම සංකල්පය මහා අස්වැසිල්ලක් කියලා මම විශ්වාස කරනවා. රජයක් විදියට අපි දන්නවා හැම දෙමාපියෙකුටම අවශ්‍ය තමන්ගෙ දරුවන්ට හොඳින් උගන්වන්න.

ඒ දරුවන්ට අධ්‍යාපනය ලබන්න පාසල තුළ පහසුකම් තිබිය යුතුයි.

අදටත් මූලික පහසුකම් නොමැති පාසල් තිබෙනවා, නම් ඒවා ගැන වහාම සොයල බලන්න අධ්‍යාපන අමැතිතුමාට අපි දැනුම් දී තිබෙනවා.

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය යටතේ රටේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අපි මුල පිරූ බව ඔබ දන්නවා.

රජය සෑම විටම උත්සාහ කරන්නෙ දරුවන් වෙනුවෙන්, ඔවුන්ගෙ අනාගතය වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුතුකම් ඉටුකරන්න.

එදා අපි ඈත ගම්මානවල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර හදන කොට ඇතමෙක් හිනා වුණා. තවත් අය දේශපාලනිකව ඒවා නවත්වන්න උත්සාහ ගත්තා.

අද බලන්න බොහෝ දරුවො මේ විද්‍යාගාරවල පහසුකම් උපරිමයෙන් ලබනවා.

අප ආරම්භ කළ ඔබේ පාසල, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය “ නත්ථි ජාතස්ස අකරණං” ආදර්ශ පාඨය පෙරදැරිව පසුගිය දස වසර තුළ බොහෝ ජයග්‍රහණ ලබා ගත්තා.

සමස්ත ලංකා මට්ටමෙන් ජයග්‍රහණ ලබාගත් ඇතැම් දරුවන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා එක්ක මා හමුවීමටත් පැමිණියා.

සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවල සමත්වීමේ ප්‍රතිශතය ඉතාම ඉහළ අගයකින් පවත්වාගෙන යාමට මෙම විද්‍යාලයට සමත්වී තිබෙනවා.

ඉතා දුෂ්කර හා අභියෝගාත්මක කාල වකවානුවක දී පවා විෂය හා විෂය සමගාමී ජයග්‍රහණ අත්කරගැනීම විශේෂිතයි.

ඒ හැම ජයග්‍රහණයකින්ම පාසල් අධ්‍යාපන තුළ විශිෂ්ට මුද්‍රාවක් බවට මෙම පාසල පත්වුණා.

රටට අවශ්‍යය අනාගත අභියෝග භාරගතහැකි, ශික්ෂණයෙන් යුතු සංස්කෘතිය හා සාමාජයීය වටපිටාව මැනවින් හඳුනාගත් දරුවන්. වෙනස් වෙමින් පවතින ලොව තුළ සැබෑ අරමුණ විය යුත්තේ ද එය බවයි මගේ විශ්වාසය.

ලෝකයම වසංගත බියකින් වෙලී ගි‍යත්, අප දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. ඇතමුන් විවිධ දෑ ප්‍රකාශ කළත් දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකියි.

පාසල් ආරම්භ කළ ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම අඩු වී ඇතැයි මට දැනගන්න ලැබුණා. මෙවැනි අවස්ථාවක දෙමාපියන්ට විශාල වගකීමක් පැවරෙනවා.

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දරුවන් පාසල් වෙත යොමු කිරීමේ වගකීම.

ඒ නිසා දැනුවත්භාවයයි වැදගත්. දරුවන් ආරක්ෂාවන පරිදි පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමයි වැදගත්.

දස වසරක් සපුරන හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය විශිෂ්ටත්වයට පත්කිරීමට දායක වන විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය, සිසු දරුවන්, දෙමාපියන් මෙන්ම, ආදි ශිෂ්‍යන්ටත් මේ මොහොතේ මගේ සුබ පැතුම් පුදකරනවා.

අනාගත ලොව දිනන සුවිශේෂි දරු පරපුරක නිමැවුම්කරුවකු ලෙස මෙම විද්‍යාලයට චිරාත් කාලයක් රටට මෙන්ම ලෝකයට සේවය කිරීමට ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි.

ඔබ සැමට සුබ අනාගතයක් වේවා !

මෙම අවස්ථාව සඳහා මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විද්‍යාලයේ නිර්මාතෘ වත්මන් වෙළෙඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති එම්. ආර්. ඩී. කසුන් ගුණරත්න, නියෝජ්‍ය විදුහල්පති හෂිකා පෙරුම්බුලි මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන්, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *