පොත් 342ක් ලියා රටට පුස්ථකාලයක් දුන් දිරිය මව ගැන දන්නවාද ?

(කොළඹ, ලංකාපුවත්) –සාහිත්‍යවේදියෙකුට ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා, එකක් වන්නේ තම මතවාදය ජනගත කිරීමයි. ජනතාව තුල යහපත්වූ සංකල්ප ඇතිකිරීමයි. දෙවන අරමුණ වන්නේ එම ලේඛක සාහිත්‍ය පරම්පරාව ඉදිරියට ගෙනයාමයි. ඔබතුමිය මෙම අරමුණු දෙකම ඉටුකර තිබෙනවා. පොත් 342 ලියා ඔබතුමිය ආදර්ශයක් දීලා තියෙනවා. ඊයේ ගාල්ලේ ක්‍රිකට් තරඟයේදී අපේ ක්‍රීඩකයෙක් ලකුණු 342 වාර්තා කළානම් ඒක අද බී.බී.සී ප්‍රවෘත්ති වලත් ප්‍රධාන ප්‍රවෘත්තියක්. ඒත් ග්‍රන්ථ 342 රචනා කරපු අම්මා කෙනෙක් පිළිබඳව සමාජ සංවාදය කෙතරම් අඩු ද , යැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය විසින් තමන්ට අයත් බන්ඩාරගම මැදගම පිහිටි දෙමහල් නිවස ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීම නිමිත්තෙන් බණ්ඩාරගමදී පැවැති උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා –

අද සමාජේ විශ්වාස කරන්නේ නූතන පරම්පරාවෙ දරුවෝ කියවන්නේ නැ බලනවා විතරයි කියලයි. කියවන සමාජය නිද්‍රාගතවෙලා කියල, සමාජය තුල විශ්වාසයක් තියෙනවා. මාර්තු මාසයේ අග කොවිඩ් නැමති විශ්වීය මාරයා ඇවිල්ලා මුළු ලෝකයම යටත් කරගන්න හැදූ වෙලාවේ අපේ රටේ පාසල් වහලා දරුවෝ නිවෙස් වල ප්‍රාණ ඇපකාරයෝ වෙලා හිටියා අපි එදා අධ්‍යාපන අමාත්‍යාංශය විදියට එකතුවෙලා තීරණය කළා ඒ තිබුණු ආතතියෙන් දරුවන් මුදවා ගන්න.

සිංහල දමිළ අළුත් අවුරුද්ද ලබන හෝරාවේ මම අධ්‍යාපන ඇමතිවරයා විදියට නොව ආදරණීය තාත්තා කෙනෙක් විදියට මේ රටේ මිලියන හතරකට අධික දරුවන්ගෙන් ආරාධනයක් කළා අපි මේ වැඩ අල්ලන නැකතින් පොතක් ලියන්න පටන් ගනිමු කියලා. මාස තුනක් ගියපු තැන ඒකේ ප්‍රතිඵලය වුනේ අපේ රටේ හතලිස් දෙදහසක් දරුවෝ පොත් ලියල, ඒ කියන්නේ හෑම දරුවෝ සියදෙනෙක් ගෙන් එක් දරුවෙක් පොතක් ලියලා තිබුණා.

මේක අපේ රටට, සමාජයට හොඳ පණිවිඩයක් අපි මේ ගැන ගිනස් ආයතනය එක්ක කතා කරපු වෙලාවේ ඒ අය කිවුවේ මේක ලෝක වාර්තාවක් කියලයි. පොත් හතලිස් දහසක් එකවර රචනා කිරීම විතරක් නෙවෙයි, පොත් දහදාහක් මුද්‍රණය කරලා අපට ලෝකයට කියන්න ඕනි කළේ මුළු ලෝකයම කොරෝනා මාරයාට බයේ තැතිගත්ත වෙලාවක ලංකාවේ දුවල පුතාලා ලෝක වාර්තාවක් තැබුවා කියලයි. ඒ මොහොතේ ලෝක වාර්තාවක් තියන්න විතරක් නෙවෙයි ලෝක වාර්තාවක් ගැන හිතන්න පවා ලෝකේ කිසිම රටක් සූදානම් නොවුනු වෙලාවක අපේ අරුවෝ එ් විශිෂ්ටත්වය ලෝකයට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පරම්පරාව පිළිබඳව කණගාටුවක් තියාගන්න එපා.

මට ලොකු කණගාටුවක් තිබුණා මම උසස් පෙළ ශිෂ්‍යයෙක් වෙලා ඉන්න වෙලාවේ 1981 අපේ පාසලේ හිටියා දමිළ ගුරුවරයෙක් තනබාලසිංහම් කියලා. අදට අවුරුදු හතලිහකට පෙර ජූලි මාසේ එක අඳුරු දවසක් දා, හරියටම ජූලි පළමුවැනිදා දේශපාලන මැරයෝ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා. මට තාම මතකයි තනබාලසිංහම් සර් කඳුළු වගුරවමින් ඒ පුස්තකාලය ගැන එහි වටිනාකම ගැන කියපු විදිය, ආසියාවේ ඒ පුස්තකාලයට තිබුණු ගෞරවය පිළිබඳව අපට කියපු විදිය. නූගත් දේශපාලන මැරයන් විසින් ඒ යාපනය පුස්තකාලය අළු දූහුවිලි බවට පත්කළා. මම ඉතිහාසයට ඇඟිල්ල දිගුකරන්න හදනවා නොවෙයි. එදා පාසල් ශිෂ්‍යයෙකුව කඳුළු බෙදාගත්ත මම ඊට අවුරුදු හතලිහකට පස්සේ අද ඔබතුමියගේ නිවහනට අවිල්ලා උතුරා යන සතුටකින් ගෙදර යනවා. මේ සමාජ සත්කාරය තවදුරටත් කරගෙනයාමට ඔබතුමියට ශක්තිය ධෛර්ය ලැබේවා.යැයිද. තම සුභාසිංශන එක් කළ අමාත්‍ය වරයා එහිදී සෝමා ජයකොඩි මහත්මිය වෙනුවෙන් අග්‍රාමාත්‍ය තුමා විසින් එවන ලද සුභාසිංශන පණිවුඩයද ඉදිරිපත් කළේය.

ජාතික උරුම,ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස, ජාතික පුස්තකාල හා ප්‍රෙලේකන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන, ගොඩගේ ප්‍රකාශන අධිපති එස්.ගොඩගේ, ප්‍රවීන සූපවේදී ආචාර්ය පබිලිස් සිලුවා, ඇතුළු ගිහි පැවැදි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *