කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂිල්ඩ් කොවිඩ් මර්ධන එන්නත් තොගය ශ්‍රී ලංකාවට හෙට(28) ලැබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.

එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයකින් එන්නත් ලක්ෂ 05ක් මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇත. ඒවා ඉන්දීය රජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත නිල වශයෙන් හෙට දිනයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාර දීමට නියමිතය.

ලලිත් වීරතුංග මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත හෙට දිනයේ දීම ගබඩා කර අනිද්දා(28) සිටම ජනතාවට එන්නත්කරණ වැඩිපිළිවෙල අරඹන බව හෙතෙම සදහන් කළේය.

පළමුවෙන්ම ඉදිරිපෙල සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එන්නත ලබා දීම සිදුවේ. දෙවනුව පොලිසිය – ත්‍රිවිධ හමුදාවේ තෝරාගත් කණ්ඩායම්වලට එන්නත ලබා දෙනු ඇත. අනතුරුව ගුවන් තොටුපල කාර්ය මණ්ඩල හා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල කටයුතු කරන පිරිස් වෙත එන්නත ලබා දීමට නියමිතය. ඉන් අනතුරුව වයස අවුරුදු 60වැඩි පුද්ගලයන්ට එන්තත ලබා දීමට සැලසුම් කර ඇතැයි ලලිත් වීරතුංග මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *