බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි ලබන 15ට පෙර විවෘත කිරීමට සුදානමක්

(කොළඹ, ලංකාපුවත්) –මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා‌ මේ බව පැවසූයේ, එක් එක් පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය, සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ විදුහල්පතිවරුන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ දූ දරුවන්ගෙන් තොරතුරු සොයා විමසා බැලීම සඳහා කොළඹ දේවි බාලිකා, නාලන්දා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයක අද (29) දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.

විශාල උනන්දුවක් සහ කැපවීමක් සහිතව ඉතා ක්‍රමානුකූල ව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ වැඩපිළිවෙළට සම්බන්ධ වෙමින්, දෙමව්පියන් සමග ද සම්බන්ධීකරණය පවත්වාගනිමින් ඉතා සැලකිලිමත් ව මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *